Connect with us

පුවත්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ස්ථාවරය

Published

on

Chandrika Bandaranayake Kumarathunga

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහාය පළ නොකර සිටිමට තීරණය කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

ජනාධිපතිවරණයේ දී තම ස්ථාවරය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය විසින් විවිධ වාර්තා පළ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ද සිය අවධානය යොමු කර ඇති බව කුමාරතුංග මහත්මිය කියා සිටියාය.

ඇතැම් ජනාධිපතිධුර අපේක්ෂකයින් විසින් අවස්ථා කිහිපයකදී සිය සහය ඉල්ලා සිටි බව ද ඇය අවධාරණය කළාය.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී මධ්‍යස්ථව සිටීමට තමන් තීරණය කර ඇති බවට අදාළ සියලු පාර්ශ්වයන් වෙත දැනුම්දීමට ඇති බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

උපුටාගැනීම..!

2024 ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට සහයෝගය ලබා දීමට මම කටයුතු කර නොමැති අතර, ඉදිරියේ දී හෝ එසේ කිරීමට මා තුළ බලාපොරොත්තුවක් නොමැති බව අවධාරණය කරනු කැමැත්තෙමි.

මින් පෙර කිසිදාක, අප දේශයේ අනාගතය අද වැනි අවිනිශ්චිතභාවයකට සහ අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා නොමැත.

සියලුම ඡන්ද දායකයින් තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී බැරෑරුම් ලෙස මෙම තත්ත්වය කල්පනා කළ යුතුව ඇත. පුද්ගලයා දෙස නොව, එක් එක් අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් සතු වැඩපිළිවෙළ හා ක්‍රියාපටිපාටින් මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම භාරව සිටින පුද්ගලයින්ගේ ධාරිතාව පිළිබඳව ද මෙහිදී මැනවින් අවධානයට ලක්‌කළ යුතු යැයි මම යෝජනා කරමි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය(විශේෂයෙන් සුළු ගොවිතැන), සළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යවසායන්, ප්‍රධාන කර්මාන්ත සහ අපනයන මෙන් ම වැවිලි කර්මාන්ත විවිධාංගීකරණය, ජාත්‍යන්තර වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම යන ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු ය.

අවංක සහ යහ පාලනය, රාජ්‍ය දූෂණය පිටු දැකීම මෙන් ම පොරොන්දු වූ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ සහතිකයක් ජනාධිපති අපේක්ෂකයන් වෙතින් ඉල්ලා සිටීමට ඡන්දදායකයින් වන අපට අනුලලංඝනීය අයිතියක් ඇත. මෙයින් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ඇතුළු රජයේ සියලුම ඉහළ තනතුරු සඳහා අවංකභාවයෙන් හෙබි කුසලතා සහ සුදුසුකම් පරිපුර්ණ පුද්ගලයින් පත් කිරීමයි. යහපාලනය සහතික කිරීම සඳහා අපගේ දේශයෙන් දුෂණය නැමැති ශාපය අතුගා දැමිය හැකි ආකාරයේ නීති, ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයයි.

ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ අවංකභාවය සහ වගවීම ඉල්ලා අදින් වසර දෙක හමාරකට පෙර, 2022 දී ඇරඹි දැවැන්ත ජනතා ව්‍යාපාරය විසින් *රැඩිකල් ක්‍රම වෙනසක්* උදෙසා කළ ප්‍රබල ඉල්ලීම අප විසින් අමතක නොකළයුත්තේය.

යම් රජයක් පිහිටුවීම සඳහා පුරවැසියන් වසර පහකට වරක් ඡන්දය භාවිත කරන නමුත් එම වසර පහ තුළ රාජ්‍ය පාලනය පිළිබඳ කිසිදු පුරවැසි සබඳතාවයක් හෝ සහභාගීත්වයක් නොමැති වත්මන් ක්‍රමය හරහා මෙම අරමුණ ළඟා කරගත නොහැකි බව මම විශ්වාස කරමි.

අප රටේ ක්‍රම වෙනසක් ඇති කිරීම පිළිබඳ අපගේ සිහිනය සඵල කරගැනීමට එකම විසඳුම ආණ්ඩුකරණයේ දී තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේදී පූර්ණ පුරවැසි සහභාගීත්වය ඇතුළත් රාජ්‍ය ව්‍යුහයක් නිර්මාණය කිරීම බව

මාගේ විශ්වාසයයි. ඒ සඳහා *ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මහජන සභාවක්* ඇති කළ යුතු බවට මම යෝජනා කරමි. මෙම සභාව ආණ්ඩුව සමග සමාන්තරව ක්‍රියා කරමින්, යෝජිත සියලු රාජ්‍ය ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සමාලෝචනය කර එම සභාවේ අදහස් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබේ.

මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කර පාර්ලිමේන්තුවට මෙන්ම දිස්ත්‍රික් මහජන කමිටු වෙත වාර්තා කිරීමේ බලය ද මෙම සභාවට ඇත.

පහත සඳහන් සිදිල් සංවිධානවල නායකයින්ගෙන් මහජන සභාව සමන්විත වේ

සිවිල් සමාජීය සංවිධාන, වෘත්තීයවේදින්ගේ සංවිධාන, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ ගුරු සංවිධාන, වෘත්තීය සමිති සහ ගොවි සංවිධාන, විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ සංවිධාන, කලාකරුවන්ගේ සංගම් සහ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජයේ නායකයන්.

මෙහි මුළු සාමාජිකත්වයෙන් 40% තරුණයන් වන අතර 40% කාන්තාවන් වනු ඇත. මේ ක්‍රමවේදය මගින් මහජනතාවගේ නියෝජිතයන් හරහා ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ වඩාත් පුළුල් සහ සෘජු සහභාගීත්වයක් මහජනතාව වෙත ලැබෙනු ඇත.

මෙය ශ්‍රී ලංකාවේ මහජන සහභාගීත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී පාලන ක්‍රමයක් වනු ඇත. මෙය දූෂණය සහ නාස්තිය අවම කිරීමට සහ රාජ්‍ය සේවයේ කාර්‍යාක්ෂමතාව ඉහළ නැංවීමට ඵලදායී විසඳුමක් ද වනු ඇත.

*අප දේශයේ අනාගතය රැඳී ඇත්තේ ඔබ මතය*.

ඉහත ඉදිරිපත් කර ඇති යෝජනාව කෙරෙහි බැරෑරුම් ලෙස මෙනෙහි කරන ලෙසත්, අඳුරු අනාගතයක එළිපත්තේ ඇති අප දේශය නැවත වරක් ප්‍රබුද්ධ හා ශ්‍රේෂ්ඨ දේශයක් ලෙස නැඟී සිටීමටත් ඔබේ වටිනා ඡන්දය භාවිත කරන ලෙස මගේ සහෝදර පුරවැසි ප්‍රජාවගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

උපුටාගැනීම අවසන්..!

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved