ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) පර්යේෂණ නෞකාව සඳහා ශ්‍රී ලංකාව අවසර ලබා දී තිබේ.
අගෝස්තු 15 සිට 20 දක්වා කාල සීමාව තුල එම නෞකාව මෙරට මුහුදු තීරයේ සිය පර්යේෂණ කටයුතු සිදුකරනු ඇත.
අදාළ නෞකාවට ශ්‍රී ලංකා භෞමික ජල තීරයේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
මෙය, මත්ස්‍ය තොග, ජෛව විවිධත්වය සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන් පිළිබඳ වැදගත් දත්ත රැස් කරන පර්යේෂණ නෞකාවකි.
මෙම නෞකාව, ශ්‍රී ලංකා ජල තීරයේ පර්යේෂණ කටයුතු සිදු කිරීමට උත්සාහ කළ නමුත්, විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) නොමැති විට රජය මීට පෙර එයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කර තිබුණි.
විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා වසරක් පුරා පැවති තහනම 2024 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වූ අතර, ඉන්පසු 2025 ජනවාරි අගදී ශ්‍රී ලංකාවේ විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සඳහා SOP සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් තීරණයක් ගන්නා ලදී.
මෙම නෞකාවේ ආගමනය පිළිබඳ වාර්තා වූ තොරතුරු අතර වූයේ යම්හෙයකින් මෙම පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ 10ක් අහිමිවනු ඇති බවය.
සබැඳි පුවත්