රක්ෂිත බන්ධනාගාරගත කළ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
ඔහුට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අධිකරණය විසින් ද නියෝග කර තිබුණි.
ඒ අනුව තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ පස්වරුවේ පළමුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබිණි.
ඔහු විශේෂ ආරක්ෂිත ස්ථානයක රඳවා තබන තෙක් එම බන්ධනාගාරයේ පස්වරු 05.00 පමණ තෙක් රඳවා සිටි බව පැවසේ.
පසුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ විශේෂ ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් එහි රඳවා ඇතැයි වාර්තා වේ.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වැඩ තහනමට ලක්ව සිටින තුෂාර උපුල්දෙණිය මහතා අද (11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ද අද දින අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.
ඔහු මේ වනවිට රඳවා සිටින්නේ දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත ස්ථානයක බව පැවසේ.
මේ අතර බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් ගාමිණී දිසානායක මහතාට අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ, ජනාධිපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන වෙනුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
පසුගිය 09 වැනිදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු කැඳවා පැය 06ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ද අත්අඩංගුවට ගැනුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට තුන්වරක් කැඳවීමෙන් පසුවය.