Connect with us

පුවත්

බෙල් 212 හෙලිකොප්ටර් අනතුර ගැන තව තොරතුරු හෙළිවේ (UPDATE)

Published

on

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටී ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.

හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදුකරන අතරතුර අනතුර සිදුවී ඇති බව ගුවන් හමුදාව පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා අරලගංවිල සහ පොළොන්නරුව රෝහල්වල ප්‍රතිකාර ලබයි.

අනතුරට පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් මෙම බෙල් 212 හෙලිකොප්ටර් යානය අද උදෑසන 6.44ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වී තිබුණි.

ඒ, මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ බළකායේ විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා හමුදා සාමාජිකයින් රැගෙන යාමටය.

ගුවන් හමුදාව පවසන්නේ උදෑසන 7:08 පමණ වනවිට මාදුරුඔය ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයට යුද හමුදා සාමාජිකයින් 6දෙනෙකු නංවා ගත් බවය.

ඒ අනුව යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයින් 6දෙනෙක් සමග පුද්ගලයින් 12දෙනෙකු සිට තිබේ.

එහිදී යානයේ ඇතිවූ තත්ත්වයක් මත හදිසි ගොඩබෑමක් සිදුකර ඇති අතර එහිදී යානය මාදුරුඔය ජලාශයට පතිත වී ඇති බව ගුවන් හමුදාව පැවසීය.

කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව සහ යුද හමුදා සාමාජිකයින්, අනතුරට ලක්වූ පිරිස මුදාගැනීමට මෙහෙයුම් දියත් කර තිබුණි.

ගුවන් හමුදාව පැවසුවේ යානයේ සිටි 12දෙනාම මුදාගෙන අරලගංවිල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ අතර ඉන් 8 දෙනෙක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු බවය.

කෙසේවෙතත් ඉන් සෙබළුන් 06 දෙනෙකු පසුව ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව්දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකි.

මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා පියවර ගෙන තිබේ.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.53 )

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

පුවත්

අර්ජුන් ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි නඩුව එළඹෙන ජූලි මස 23වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

නොච්චියාගම  පී. ඩී. ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන් කැබලි කරන ලද බඩ ඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඊට අදාළ මුදල් නොගෙවා රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදලක් වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ  චෝදනාවකට අදාළව මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව කැඳවු අවස්ථාවේ  අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මෙමෙ නියෝගය නිකුත් කළේය.

ඊට අදාළ විමර්ශනයන් හි ප්‍රගතිය දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කරන ලදී.

අදාළ නඩුව  කැඳවීමට නියමිත ලබන ජූලි මස 23 දින සැකකාර අර්ජුන් ඇලෝසියස් මහතා යළි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින  ලෙසටද  නියෝග කර තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළ ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර ඇත.

ජනාධිපතිතුමා විසින් මේ වසරේ ජනවාරි මාසයේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇත.

ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 500ක් සහ ආදර්ශ සුහුරු පන්ති කාමරයක් සඳහා අවශ්‍ය වන උපාංග යෝජිත ව්‍යාපෘතිය මඟින් ලබා දීමටත්, එම ව්‍යාපෘතිය යටතේ වන ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකය, වැඩසටහන් මෙහෙයුම් මැදිරිය සහ සම්මන්ත්‍රණ කාමරය ‘ඉසුරුපාය’ පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading

කැබිනට් තීරණ

අධිවේගයට නව අධි සුඛෝපභෝගී බස්  200ක්

Published

on

By

අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් 94%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලය ඉක්මවා ගොස් ඇති බැවින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) බස් රථ ඇණියට නව බස් රථ හඳුන්වා දීමේ හදිසි අවශ්‍යතාවක් පවතී.

අධිවේගී මාර්ගවල මගී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ ශ්‍රී ලංගම විසින් දැනට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61ක් ලාභ බෙදා ගැනීමේ පදනම මත ධාවනයේ යොදවනු ලබයි.

අධිවේගී මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 200ක් තම අරමුදල් යොදා ගනිමින් මිල දී ගැනීමට ශ්‍රී ලංගමය විසින් තීරණය කර ඇත.

ඒ අනුව, මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මඟින් අධි සුඛෝපභෝගී බස් රථ 29ක් ඍජුවම මිල දී ගැනීමටත්, ශ්‍රී ලංගමයේ අරමුදල් භාවිත කරමින් මූලික ගෙවීම් සිදු කර, ඉතිරි මුදල වසර 05ක් තුළ මාසික වාරික වශයෙන් උපයන ආදායමෙන් ගෙවීම හරහා සෙසු බස් රථ ප්‍රමාණය මිල දී ගැනීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved