Connect with us

පුවත්

හ‌ොරු නිසා කැලණි පාලමට පාඩුව මිලියන 6යි; කටුනායක අධිවේගයට මිලියන 200යි

Published

on

ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකරන ලද කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) හෙවත් නව කැලණි පාලමේ රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් ඇති බවට  වාර්තා වන පුවත සම්පූර්ණ අසත්‍යයක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

“බොහෝ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ නව කැලණි පාලමේ ඇණ ගලවා කෝටි 28ක පමණ පාඩුවක් සිදු වී ඇති බවත්, ගමන් කිරීමට නොහැකි බවත් ඇතුළු සාවද්‍ය ප්‍රවෘත්ති රැසක් ප්‍රචාරය වෙමින් පවතිනවා. එහි සත්‍ය තත්ත්වය වන්නේ, නව කැලණි පාලමේ සහ කටුනායක අධිවේගි මාර්ගයේ ඇතැම් ස්ථානවලට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් යම් යම් හානි සිදු කර තිබෙනවා. ඒත් ප්‍රචාරය වන ආකාරයේ කැලණි පාලමේ ඇණ ගලවා සොරකම් කිරීමක්‌ සිදු වී නැහැ… එහි සවි කර ඇති ඇණ ගැලවීම සිදු කළ හැක්කේ විශේෂ උපකරණවලින් පමණයි. ඊට දින කිහිපයක් ගත වනවා. එය ප්‍රායෝගිකව සාමාන්‍ය පුද්ගලයකුට කළ හැකි කාර්යයක් නොවෙයි. ඒත් පාලමට යටින් ඇති පුවරු, ආරක්ෂිත කැමරාවලට සම්බන්ධ වන විදුලි රැහැන්, ජීඅයි පයිප්ප වැනි භාණ්ඩවලට හානි කිරීමක් සිදුව තිබෙනවා. ඒ අනුව කැලණි පාලමට පමණක් රු. මිලියන 6කට ආසන්න මුදලක හානියක් සිදුව තිබෙනවා.”

කටුනායක අධිවේගයට මිලියන 200ක පාඩුවක්

“එමෙන්ම කටුනායක අධිවේගි මාර්ගයේ කි.මී. 13ක් පමණ දිග කොටසක රැහැනක් ස්ථාන කීපයකින් කපා දමා ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් එම රැහැන භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. එහි හානිය රු. මිලියන දෙසීයක් පමණ වනවා. මේ පිළිබඳව මීට පෙරද කරුණු පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම ඒ සම්බන්ධවත් මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.”

“පොලිස්පතිතුමා සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව නව කැලණි පාලමේ ආරක්ෂාවට විශේෂ පොලිස් ඒකකයක් එම ස්ථානයේම ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් පවත්වමින්, එලෙස සොරකම් කරන ලද කොටස් අලෙවි කළ ස්ථාන සහ පුද්ගලයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට විමර්ශන කණ්ඩායම් සමත්ව තිබෙනවා. එමෙන්ම අධිවේගි මාර්ගයට සිදු කළ හානි පිළිබඳවත් සැකපිට කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳ තවදුරටත් විශේෂ ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් තිබෙනවා. පසුගිය සතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සිලයේදීත් මේ පිළිබඳ කරුණු සාකච්ඡා කරනු ලැබුවා. එහිදී මේ ආරක්ෂිත ක්‍රියාමාර්ග තවදුරටත් වර්ධනය කරමින් පොලිසිය මඟින් සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙළට අමතරව අවශ්‍යතාව පරිදි බාහිර ආරක්ෂක සේවාවන්ගේද සහාය ගනිමින් මෙවැනි මර්මස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙළක් සකස් කිරීමට උපදෙස් දෙනු ලැබුවා. මේ වන විටත් ඒ සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා.”

“විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් රැසක් වාර්තා වී තිබෙන්නේ පසුගිය කාලයේ වරින් වර විදුලිය සැපයුම සීමා කරන ලද කාල සීමාවේදීයි. එහෙත් ඒ පිළිබඳ තොරතුරු බාහිර පාර්ශ්වයන්ට අනාවරණය නොකිරීමට හේතුව ඒ විටත් ඒ පිළිබඳආරක්ෂක අංශ විසින් සිදු කරන ලද පරීක්ෂණවලට බාධාවක් සිදු වනු ඇති බවට පැවති සැකය හේතුවෙන්. ඒ අනුව කැලණි පාලමේ ඇණ ගලවා ඉවත් කර ඇති බවට වාර්තා වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව මා තහවුරු කරනවා. ඉදිරියේදී මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියා සිදු වීම වැළැක්වීමට අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා.”

සබැඳි පුවත්

නව කැලණි පාලමේ ආරක්ෂක කොන්ත්‍රාත්තුව රක්නා ලංකාට

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved