ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් ලිමිටඩ් (Fintrex Finance Limited) ලීසිං වාහන අංගණයේ ගාල්කර තිබූ වෑන් රථයක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 116ක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (05) සොයාගෙන ඇත.
පසුගිය වසරේ ජූලි මස 10 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වත්තල ප්‍රදේශයේදී මෙම වෑන් රථය සහ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 329ක්ද සමගිනි.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහනය ලීසිං සමාගමට මුදාහැර තිබේ.
පසුව එම රථය කැලණිය බොල්ලෑගල පිහිටි එම ආයතනයේ රථගාලේ ගාල් කර තිබී ඇත. ප්
රධාන පොලිස් පරීක්ෂක කේ.එස්. දොලමුල්ලට පුද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් දැනගැනීමට ලැබී ඇත්තේ එම වාහනයේ තවත් මත්ද්‍රව්‍ය සඟවා තිබෙන බවකි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ආයතනයේ අවසරය සහිතව වාහනය පරික්ෂා කිරීමේදී බපරය තුළ සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම වෑන් රථය ජූලි මස අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරු මේ වන විටත් බන්ධනාගාරගතව සිටින බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.