පුවත්

15 වියේ දැරියක් දූෂණය කළ ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ්

Published

on

වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට අදාළව උපකාරක පන්ති ගුරුවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ පන්නල ප්‍රදේශයෙනි.

අත්අඩංගුවට ගත් සැකකාර 24 හැවිරිදි වියේ පසුවන උපකාරක පන්ති ගුරුවරයාව එළඹෙන 15 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු අද කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

සැකකාර උපකාරක පන්ති ගුරුවරයා දංකොටුව, වෙන්නපුව, මාකඳුර ආදී ප්‍රදේශ රැසක විද්‍යා විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයෙකි.

පන්නල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියක් සන්තකයේ තිබී උපත් පාලන පෙති කිහිපයක් හමුවීමත් සමඟ සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

උපකාරක පන්ති පැවැත්වීම සඳහා නිර්මාණය කර තිබූ වට්ස්ඇප් සමූහයකදී මෙම ගුරුවරයා අදාළ දැරියගේ දුරකථන අංකය සොයාගෙන ඒ හරහා ඔවුන් අතර දැන හැඳුනුම්කමක් ඇතිකරගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

සැකකාර උපකාරක පන්ති ගුරුවරයා දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ බව අධිකරණයේදී පිළිගෙන තිබේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකාර ගුරුවරයා වෙනත් උපකාරක පන්තියක ඉගැන්වීම් කරමින් සිට ඇති බවද වාර්තා වෙයි.

මේ අතර සැකකාර උපකාරක පන්ති ගුරුවරයාගෙන් ඉගෙනුම ලබා ඇති අනෙකුත් සිසුවියන් පිළිබඳවද විමර්ශනයක් සිදුකර කරුණු වාර්තා කරන ලෙසට එහිදී අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

පන්නල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

(අද දෙරණ)

Trending

Exit mobile version