Connect with us

පුවත්

2017දී SMIB බැංකුවට සිදුවූ රු. මිලියන 68ක පාඩුව ගැන වාර්තාවක් ඉල්ලයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 19දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව කැඳවා තිබිණි.

මෙහිදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2020,2021 වර්ෂවල විගණන වාර්තා පරීක්ෂා කිරීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබදව විමර්ශනය කිරීම සිදුවිය. මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් ද රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට කැඳවා තිබිණි.  මෙහිදී පහත සදහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රමාදය

මීට පෙර පැවති කෝප් කමිටුවේදී ලබා දුන් නිර්දේශ අනුව සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිත කිරීම ප්‍රමාදය පිළිබදව අවධානය යොමු විය. දැනටමත් මෙම කටයුතු ආරම්භ කර ඇති බවත් 2024 ජූලි වන විට සම්පූර්ණයෙන්ම එම කටයුතු අවසන් කරන බවටත් නිලධාරීහු සහතික වූහ.

තරගකාරී බැංකුවක් ලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාව 

බැංකුවේ වත්කම් ප්‍රමාණය වැඩිකරගෙන දියුණු තලයකට පැමිණීම සදහා වානිජ මට්ටමේ මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී. බැංකුවේ මූලික පරමාර්ථවලින් සම්පූර්ණයෙන්ම බැහැර නොවී තරගකාරී බැංකුවක් ලෙස මහජනතාවට සමීප වීමේ වැදගත්කම කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.  ඒ අනුව නව්‍ය බවකින් යුතුව සහ ආකර්ශනීය ලෙස බැංකුවේ සන්නාමය මහජනයා අතර ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව (Rebranding) අවධාරණය කෙරිණි.

සාවද්‍ය ලේඛන ඉදිරිපත් ක​ර රු.මිලියන 68ක් ණය ලබා ගැනීමෙන් සිදුවූ අලාභය 

2017 වසරේදී සාවද්‍ය ලේඛන ඉදිරිපත් කරමින් යම් පිරිසක් ණය ලබා ගැනීම නිසා බැංකුවට අලාභ වූ රු මිලියන 68 ක මුදලක් පියවා ගැනීමට අදාළ කටයුතු පිළිබද අවධානය යොමු විය. 

ණය අයදුම්කරුවන් 49 ක් සදහා බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ඇතිව අදාළ ණය මුදල ලබාදීමෙන් මෙම වංචාව සිදුව ඇති බවද හෙළිවිය. 

දැනටමත් නෛතික කටයුතු අනුව රු. මිලියන 8 ක් ලැබී ඇති බවත් ඉතිරි මුදල ලබා ගැනීම සදහා නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නිලධාරීහු පැවසූහ. මෙම සිදුවීම සිදුවී වසර 6ක් ගතවුවද නිලධාරීන්ට දඩුවමක් ලබා දී මෙම මුදල් අයකරගැනීම පමාවීම පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමු විය. 

මේ අනුව මේ පිළිබද සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය.

බැංකුවේ සක්‍රීය නොවන ණය අනුපාතය ඉහළ අගයක පැවතීම

බැංකුවේ  සක්‍රීය නොවන ණය අනුපාතයේ (Non-Performing Loans Rate) සාමාන්‍ය අගය ඉක්මවා, ශාඛා 10 ක පමණ ඉහළ සක්‍රීය නොවන ණය අනුපාතයක් වාර්තා කර තිබීම පිළිබදව අවධානය යොමු විය. 

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම බැංකුවේ පාරිභෝගිකයන් බහුතරය මධ්‍යම හා අඩු ආදායම්ලාභීන් බැවින් පැවති ආර්ථික තත්ත්වය හමුවේ ණය ගෙවීම සදහා ඔවුනට සහන කාලයන් ලබා දීමට සිදුවූ බවයි. 

මේ පිළිබද විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දීම සිදු විය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඉරාන් වික්‍රමරත්න, සංජීව එදිරිමාන්න, මේජර් සුදර්ශන දෙනිපිටිය, මධුර විතානගේ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වී සිටියහ.

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved