Connect with us

පුවත්

2017දී SMIB බැංකුවට සිදුවූ රු. මිලියන 68ක පාඩුව ගැන වාර්තාවක් ඉල්ලයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 19දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව කැඳවා තිබිණි.

මෙහිදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2020,2021 වර්ෂවල විගණන වාර්තා පරීක්ෂා කිරීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබදව විමර්ශනය කිරීම සිදුවිය. මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් ද රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට කැඳවා තිබිණි.  මෙහිදී පහත සදහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රමාදය

මීට පෙර පැවති කෝප් කමිටුවේදී ලබා දුන් නිර්දේශ අනුව සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිත කිරීම ප්‍රමාදය පිළිබදව අවධානය යොමු විය. දැනටමත් මෙම කටයුතු ආරම්භ කර ඇති බවත් 2024 ජූලි වන විට සම්පූර්ණයෙන්ම එම කටයුතු අවසන් කරන බවටත් නිලධාරීහු සහතික වූහ.

තරගකාරී බැංකුවක් ලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාව 

බැංකුවේ වත්කම් ප්‍රමාණය වැඩිකරගෙන දියුණු තලයකට පැමිණීම සදහා වානිජ මට්ටමේ මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී. බැංකුවේ මූලික පරමාර්ථවලින් සම්පූර්ණයෙන්ම බැහැර නොවී තරගකාරී බැංකුවක් ලෙස මහජනතාවට සමීප වීමේ වැදගත්කම කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.  ඒ අනුව නව්‍ය බවකින් යුතුව සහ ආකර්ශනීය ලෙස බැංකුවේ සන්නාමය මහජනයා අතර ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව (Rebranding) අවධාරණය කෙරිණි.

සාවද්‍ය ලේඛන ඉදිරිපත් ක​ර රු.මිලියන 68ක් ණය ලබා ගැනීමෙන් සිදුවූ අලාභය 

2017 වසරේදී සාවද්‍ය ලේඛන ඉදිරිපත් කරමින් යම් පිරිසක් ණය ලබා ගැනීම නිසා බැංකුවට අලාභ වූ රු මිලියන 68 ක මුදලක් පියවා ගැනීමට අදාළ කටයුතු පිළිබද අවධානය යොමු විය. 

ණය අයදුම්කරුවන් 49 ක් සදහා බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ඇතිව අදාළ ණය මුදල ලබාදීමෙන් මෙම වංචාව සිදුව ඇති බවද හෙළිවිය. 

දැනටමත් නෛතික කටයුතු අනුව රු. මිලියන 8 ක් ලැබී ඇති බවත් ඉතිරි මුදල ලබා ගැනීම සදහා නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නිලධාරීහු පැවසූහ. මෙම සිදුවීම සිදුවී වසර 6ක් ගතවුවද නිලධාරීන්ට දඩුවමක් ලබා දී මෙම මුදල් අයකරගැනීම පමාවීම පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමු විය. 

මේ අනුව මේ පිළිබද සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය.

බැංකුවේ සක්‍රීය නොවන ණය අනුපාතය ඉහළ අගයක පැවතීම

බැංකුවේ  සක්‍රීය නොවන ණය අනුපාතයේ (Non-Performing Loans Rate) සාමාන්‍ය අගය ඉක්මවා, ශාඛා 10 ක පමණ ඉහළ සක්‍රීය නොවන ණය අනුපාතයක් වාර්තා කර තිබීම පිළිබදව අවධානය යොමු විය. 

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම බැංකුවේ පාරිභෝගිකයන් බහුතරය මධ්‍යම හා අඩු ආදායම්ලාභීන් බැවින් පැවති ආර්ථික තත්ත්වය හමුවේ ණය ගෙවීම සදහා ඔවුනට සහන කාලයන් ලබා දීමට සිදුවූ බවයි. 

මේ පිළිබද විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දීම සිදු විය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඉරාන් වික්‍රමරත්න, සංජීව එදිරිමාන්න, මේජර් සුදර්ශන දෙනිපිටිය, මධුර විතානගේ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වී සිටියහ.

පුවත්

කටුනායක සිදුවීමේ තවත් තොරතුරු

Published

on

By

අද (22) පෙරවරුවේ කටුනායක ආඬිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට දැරූ උත්සාහය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

වෙඩික්කරුවන් දෙදෙනා අද පෙරවරු 10:00 පමණ අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබුණේ පොලියට මුදල් ලබාගැනීමේ මුවාවෙනි.

අංජන නැමති 37 හැවිරිදි ව්‍යාපාරිකයා දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි මුදල් පොලියට දීමේ කටයුතුවල නිරත පුද්ගලයෙක් බව අනාවරණය වී තිබේ.

වෙඩික්කරුවන් රතු පැහැති ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් මෙම ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ මෝටර් රථයක ලිපි ලේඛන රැගෙනවිත් මුදල් ලබාගැනීමට අවශ්‍ය බව පවසා ඇත.

එහිදී එසේ පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ හැසිරීම් රටාව ගැන සැක සිතා ඇති මෙම ව්‍යාපාරිකයා මොවුන් නිවසට ඇතුළුවූ පසු වහාම ගේට්ටුව දුරස්ථ පාලකයක් මගින් වසා දැමීමට පියවර ගෙන තිබුණි.

ඒ සමගම නොසන්සුන් වී ඇති වෙඩික්කරුවන් දෙදෙනා ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට උත්හාස කර තිබුණත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැත.

ඒත් සමගම ව්‍යාපාරිකයා වෙඩික්කරුවන් සමග පොරබැඳ තිබූ අතර එහිදී වෙඩික්කරුවන් ඝාතන ප්‍රයත්න අතහැර නිවසෙන් පලායෑමට තැත්කර තිබේ.

නිවසේ ගේට්ටුව වසා තැබීම නිසා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අතහැර අඩි 9ක් පමණ උසැති තාප්පයෙන් පැන තිබුණි. 

එහිදී එක් වෙඩික්කරුවෙකුගේ පාදයේ අස්ථි බිඳීමකට ලක්වී ඇති අතර ඔහු තාප්පයෙන් පිටත ප්‍රදේශයේ වැටී සිටියදී සිය ගිනිඅවියෙන් හිසට වෙඩිතබා ගැනීමටද උත්සාහ දරා තිබුණත් එහිදී ද ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වෙයි.

ඉන්පසුව මෙම සිදුවීම කටුනායක පොලීසිය වෙත දැනුම්දීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ තාප්පය අසල වැටී සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී ඔහු සන්තකයේ තිබූ රිවෝල්වරයක්, ඒ සඳහා භාවිත කරන 
උණ්ඩ 05ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල අවියක් සඳහා යොදන පතොරම් 09ක් සහිත පතොරම් ගැබක්, තවත් මිලිමීටර් 09 පිස්තෝලයක හිස් පතොරම් ගැබක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අනුව මේ වනවිට තුවාල ලැබූ සැකකාර වෙඩික්කරු ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩිතැබීම සඳහා පැමිණ තිබූ අනෙක් වෙඩික්කරු මිලිමීටර් 09 වර්ගයයේ පිස්තෝලයක් ද සමග නිවසේ තාප්පයෙන් පැන පලාගොස් අතුරුදන් වී ඇත.

අදාළ සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංච් පුද්ගලයෙකු බවද පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.


(පෙර පුවත: 2025 අප්‍රේල් 22, ප.ව.1:09)

කටුනායක වෙඩි තැබීමක්

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

Published

on

By

නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ අක්වෙරළ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ මාර්ගගත සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්ත මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පුළුල් හා පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන තනි නියාමකවරයෙකු වශයෙන් ක්‍රියා කිරීම සඳහා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට යෝජනා වී තිබේ.

ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-02-24 දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති අනුමැතිය පරිදි සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබුණි.

ඒ අනුව, සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading

පුවත්

නිවසක් හදාගන්න දෙන ආධාර මුදල ඉහළට

Published

on

By

“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක විය.

එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම් දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන නිවසක් ඉදිකිරීම/වැඩිදියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනැමේ.

තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000/-ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතු බවයි රජය පවසයි.

වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000/-ක් වූ නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000/-ක් දක්වා වැඩි වී තිබේ.

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබාදෙන රුපියල් 650,000/-ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000/-ක් දක්වා වැඩිකිරීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved