Connect with us

පුවත්

2022දී කොළඹ මහා නගර සභාවේ හිඟ ආදායම මිලියන 6,200ක් පන්නයි!

Published

on

කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 06දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී 2021 වර්ෂයේ මුලු හිග ආදායම රු. මිලියන 5,835.6 ක් බවද, 2020 වර්ෂයේ රු. මිලියන 5,386.4 ක් බවද, 2019 වර්ෂයේ 4,481.5 බවද අනාවරණය විය. මෙහිදී වරිපනම් බදු, කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල් පවතින බව හදුනාගැණුනි.

මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිග බදු පවතින දේපල අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි. එසේම  ඇතැම් දේපල වල හිමිකරුවන් හඳුනාගැනීම සමිබන්ධයෙන් ගැටලු පවතිනබවත්, මහා නගර සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිගවීමත් මෙම හිග මුදල් අයකරගැනීමේදී ගැටලු ලෙස මතුවී ඇති බවයි.

පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරීම් සඳහාද වරිපනම් අංක ලබාදී ඇති බවයි. මේ අනුව කමිටුව නිර්දේශ කළේ 2023 ජුලි මස 06 දින වන විට මෙම මුදල් අයකරගැනීමට දින වකවානු සහිතව වැඩපිළිවෙළක් සකස් කොට සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙසයි.

එසේම රථගාල් ගාස්තු අය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන විසින් නගර සභාවට ගෙවිය යුතු මාසික කුලී මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇති බවත් 2021 දෙසැම්බර් 31 දින වන විට ආයතන 38 කින් අයකරගත යුතු හිග ගාස්තු ආදායම රු. මිලියන 265 ක් බවත් අනාවරණය විය.

තවද මෙහිදී කොළඹ මහනගරසභාවේ ගිණි නිවන ඒකකය පිළිබඳවද සාකච්ඡා වූ අතර මෙම අංශයේ සේවය අගය කරන බවද ලංකාව පුරා මෙය ව්‍යාප්ත විය යුතු බවද කෝපා කමිටුවේ සභාපතිවරයා පැවසීය. එසේම මෙහිදී සඳහන් වූයේ උස මහල් 20ක් පමණ වන තෙක් ගොඩනැගිලි වල ගිණි නිවීමට මෙම අංශයට පහසුකම් පවතින බවයි. මෙහිදී කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මහල් 20 ඉක්මවන ගොඩනැගිලි වල ගින්නක් ඇති වුවහොත් ගුවන් හමුදාවේ සහයෝගය ලබාගැනීම වැදගත් වන බවයි. මේ නිසා ගුවන් හමුදාව සමග සම්බන්ධීකරණය වැඩිකරගැනීමට කෝපා කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය. තවද ගිනි නිවන ඒකකයේ පවතින පුරප්පාඩු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

එසේම විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදු විය. මේ අනුව මේ සඳහා විධිමත් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සහ එය නිවැරදිව අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන ලදි.

කොළඹ 07 ප්‍රදේශයේ පවතින ඉඩමක වරිපනම් ගෙවීම මගහැරීම පිළිබඳව සහ ඉඩම් ලේඛන නිවැරදිව පවත්වාගෙන නොයෑම පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජූලි මස 06 වැනිදා වන විට කෝපා කමිටුවට ලබාදෙන ලෙස කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය. එසේම බස්නාහිර මහා නගරසභා කොමසාරිස් කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි.

තවද කොළඹ නගරයේ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර ජුනි 21 දින මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කෝපා කමිටුව රැස් වන බවයි. එදින මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සියලු පාර්ශ්වයන් කෝපා කමිටුවට කැදවන බවද කෝපා කමිටුවේ සභාපතිවරයා පැවසීය.

මීට අමතරව ඝණ අපද්‍රව්‍ය බැහැරකිරීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.  

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, ඩයනා ගමගේ හා කේ. කාදර් මස්තාන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හෙක්ටර් අප්පුහාමි, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, මුදිතා ප්‍රිශාන්ති, එම්.ඩබ්ලිව්.ඩී. සහන් ප්‍රදීප් විතාන සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.  

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved