Connect with us

පුවත්

2023දී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් හදන්න පුළුවන්ලු !

Published

on

සියලුම කටයුතු සැලසුම් කර ඇති අයුරින් සිදුවුවහොත් රුසියානු තාක්ෂණික සහාය ඇතිව පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණ අනාවරණය විය.

ශ්‍රී ලංකාව තුළ වෑද්දුම් ශිල්පය (Welding) සහ තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නිපුණත්වයන් සහිත වෘත්තිකයන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. කොරියාව ඇතුළු කාර්මික රටවල මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රයේ විධිමත් සහතිකයන් සමග පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ පෙන්වා දුන්හ.

දැනටමත් මෙම අංශයේ වෘත්තීය පළපුරුද්ද ඇති සහ එම ක්ෂේත්‍රයට අලුතින් ඇතුළත් වන අය සඳහා පුහුණු සහ සහතික කිරීමේ ක්‍රමය මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයේ සිදු කරන බව නිලධාරීහු සඳහන් කළහ. එහෙත්, මෙම පුහුණුව පිළිබඳව ජනතාව අතර නිසි දැනුවත් වීමක් නොමැති බැවින් ඒ සඳහා සැලැස්මක් සකස් කර වැඩි වශයෙන් නවකයින් සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී.

සෞදි අරාබියේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව ද මෙහිදී සාකච්ඡා විය. ජීවානුහරණය සඳහා පහසුකම් ලබාදීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබාගත හැකි බව කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සඳහන් කළේය. ඒ අනුව, මෙම ජීවානුහරණය පහසුකම සකස් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු දයාසිරි ජයසේකර, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු යදාමිනි ගුණවර්ධන, ගරු ඉසුරු දොඩංගොඩ, ගරු උදයකාන්ත ගුණතිලක, ගරු එම්. උදයකුමාර්, ගරු කුමාරසිරි රත්නායක සහ ගරු අකිල එල්ලාවල යන මහත්වරුන් සහභාගී වූහ. 

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved