Connect with us

පුවත්

2024 සහලින් ස්වයංපෝෂිත බැවින් සහල් ආනයනය කරන්නෑ – මහින්ද

Published

on

රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එසේම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ ද පැවසීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් මෙම වර්ෂය තුළ කෘෂි සහ වැවිලි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා.

2023 වසරේ මෙරට යල සහ මහ කන්නවල පොහොර මිලදී ගැනීම සඳහා මූල්‍ය සහනාධාර වෙනුවෙන් රුපියල් බිලියන 22ක ප්‍රමාණයක් අප වැය කළා. ඒ වගේම වී මිලදී ගැනීම සඳහා ද රජය විසින් රුපියල් බිලියන 13ක මුදලක් වැය කළා.

ඒ අනුව 2022 වර්ෂයේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් 8ක් ආනයනය කළත්, 2023 වර්ෂයේදී සහල් ඇටයක්වත් ආනයනය කළේ නැහැ. සමස්ථ වර්ෂය පුරාම මෙරට ජනතාව පරිභෝජනය කළේ, අප රටේ ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කරන ලද සහල් බව කිව යුතුයි. අර්බුද මැද වුවත් මෙම වසර ද සහලින් ස්වයංපෝෂිත බැවින් මෙම වසර තුළ සහල් ආනයනය කිරීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.

පසුගිය වර්ෂයේ නියඟයෙන් මෙන්ම, ගංවතුරෙන්ද වී වගාවට හානි සිදු වුණා. නියඟයෙන් අක්කර 65,000ක් සහ අධික වර්ෂාව නිසා අක්කර ලක්ෂයක් පමණ වී වගාවට හානි වී තිබෙනවා. නියඟය නිසා සිදු වූ වගා හානිවලට වන්දි ලබා දීමට රජය විසින් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කළා. ඉන් දැනටමත් රුපියල් මිලියන 700ක් පමණ ගෙවා අවසන්.

ඒ වගේම එළවළු මිල ඉහළ යාමට හේතු වූයේ අධික වර්ෂාව නිසා මහා පරිමාණ එළවළු වගාවන් විනාශයි. ඇතැම් ගොවීන් කිහිප වතාවක්ම එකම ගොවිබිමේ එළවළු බීජ රෝපණය කළත් ඒවා වර්ෂාව නිසා විනාශ වී ගියා. නමුත් යම් තරමකට හෝ එළවළු වෙළඳපොලට පැමිණියේ අප විසින් ගොවීන්ට ලබා දුන් “නෙට් හවුස්වල” වගා කිරීමට කටයුතු කළ නිසයි. ඒ වගේම ඉදිරි මාස දෙක තුළ එළවළු මිල සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ද කිව යුතුයි. 

2024 වර්ෂයේදී වී, බඩඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග වර්ග 4 නිෂ්පාදනය අපේ ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා. නමුත් අනෙකුත් වගාවන් කිසිසේත්ම අධෛර්යමත් කරන්නේ නැහැ. ඒවා තවදුරටත් වගා කරන අතර මෙම බෝග වර්ග 4 අප ප්‍රධාන ඉලක්ක බවට කර ගෙන තිබෙනවා.

බී ළූණු වගා කිරීමත් සමඟ රතු ළූණු වගාව අඩාල වුණා. එම නිසා නැවත වතාවක් රතුළූණු ජනප්‍රිය කරවීමට අපි මෙම වසරේ කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මොණරාගල තෙලුල්ල, යාපනය හා කුරුණෑගල මොරගොල්ලාගම, නියඳගම වැනි ප්‍රදේශවල රතු ළූණු වගාව ප්‍රචලිත කිරීමට අපි මේ වන විට තීරණය කර තිබෙනවා.

මීට සාපේක්ෂව වැවිලි ක්ෂේත්‍රයේ ද අපි වැදගත් තීරණ රැසක් මේ වසර තුළ ක්‍රියාත්මක කරනවා. ඉන් පළමුවැන්න අපි පසුගිය ජනවාරි පළමුවැනිදා සිට ආරම්භ කළා. ඒ අනුව තේ දළුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා B60 ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා.

ඒ වගේම තේ, රබර් සහ පොල් වගාවන් සඳහා රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් සහන මිලට පොහොර ලබා දීමේ වැඩපිළිවෙළක් ද අප ආරම්භ කරනවා. ඒ යටතේ තේ සඳහා සකස් කරන ලද විශේෂ පොහොර සහන මිලක් යටතේ ලබා දීම ද අද ආරම්භ කළා.

තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් රජයට අයත් පොහොර සමාගම් දෙක වන කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් සියලුම තේ පොහොර නිෂ්පාදනය කිරීමට නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

තත්ත්වයෙන් උසස් ගුණාත්මක භාවයෙන් ඉහළම තේ පොහොර රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් නිෂ්පාදනය කර තේ වගාකරුවන්ට ලබා දෙනවා. ඒ අනුව මෙම පොහොර වැට් සමග අලෙවි කෙරෙන මුදලට වඩා  රුපියල් 2000ක් අඩුවෙන් අවම මිලක් යටතේ අපි  තේ වගාකරුවන්ට ලබා දෙනවා. වෙළෙඳපළේ  මිල හා සසඳන විට මෙම මිල අඩු කිරීම සියයට 50ක පමණ අඩු වීමක් බව කිව හැකියි. 

ඒ අනුව T- 200 හා T- 750  තේ පොහොර මිටියක මිල රුපියල් 5500ක්,  U- 709 හා U – 834 තේ පොහොර මිටියක මිල රුපියල් 7735ක් දක්වාත් අඩූ කරනවා. ඒ වගේම නිසි පරිදි පොහොර යෙදීම මෙන්ම නව වගා තාක්ෂණය අප තේ වගාවට ද හඳුන්වා දෙනවා.

තවද අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මේ වනවිට ව්‍යාපෘති 59ක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම ව්‍යාපෘති  55ක් ඉතාම සාර්ථකයි. ඔවුන් අක්කරයකින් තේ දළු කිලෝග්‍රෑම් 1350ක් පමණ මාසයක නෙළා ගන්නවා. මේ වසරේදී අපි මිලියන 1000ක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදවනවා.

තේ පොහොර සහන මිලට සැපයීම සඳහා අද දිනයේ අත්සන් තැබුණු ‍ත්‍රෛයිපාර්ශ්වීය ගිවිසුමකට අත්සන් තැබුවා. ඒ අනුව රජයට අයත් පොහොර සමාගම් දෙක සමඟ ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා  කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ගිවිසුම් ගත වුණා. ශ්‍රී ලංකාවේ තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට මෙම සහන මිලට පොහොර ලබා දීම මහත් රුකුළක් වන බව මම විශ්වාස කරනවා.

ඒ වගේම මෙවැනි පියවරක් ගැනීමට හැකි වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශි දේශපාලන දැක්ම නිසා බවත් කිව යුතුයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශයට එක් නොකළා නම් කිසිසේත්ම මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved