Connect with us

පුවත්

2025 මුල් මාස 05ට බිලියන 98ක සුරාබදු ආදායමක්

Published

on

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක ප්‍රමාණයක් උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන්නේ, රු. බිලියන 242ක් වන අතර 2025 මැයි 31 වන විට අපේක්ෂිත ප්‍රමාණයෙන් 104% ක් එනම් බිලියන 98ක් උපයාගත හැකිවූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඉදිරියේ පසුගියද 06 වනදා ඒ  පැවසූහ.

2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන රු. බිලියන 242 න් රුපියල් බිලියන 240ක් මත්පැන්වලින් ද රුපියල් බිලියන 2ක් බීඩිවලින් ද ලබා ගැනීම‍ට අපේක්ෂා කරන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

පසුගිය වසරේ මැයි 31 වන විට එම ආදායම රුපියල් බිලියන 88ක් බවත් ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10 ක ආදායම මේ වන විට වැඩිවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

නව රජය බලයට පත්වීමත් සමග නීතිවිරෝධි මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත් වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් වූ බවත් මේ වනවිටත් අඛණ්ඩව එම වැටලීම් සිදුකරමින් පවතින බවත් සුරාබදු නිලධාරීන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඉදිරියේදී සඳහන් කර ඇත.  

මුදල් සහ ක්‍රම සම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් 2025.06.06 දින පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ත මෙහෙයුම් පිළිබඳව සහ ආරක්ෂක විශේෂාංග කළමනාකරණ පද්ධතිය  ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම කාරක සභාව රැස්විණි.

මත්පැන් බෝතල් මත අලවා ඇති QR කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරයක් ජංගම දුරකථනයක ඇති මෘදුකාංගයක් හරහා (App) ස්කෑන් කිරීමෙන් ව්‍යාජ මත්පැන් බෝතල් හදුනා ගැනීම සඳහා මේ වන විට අලුතින් ආරම්භ කොට ඇති වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා විමසා සිටියේය.

එම වැඩ පිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී නිලධාරිහු පැවසූහ.

2024 අග භාගයේදී හදුන්වා දුන් මෙම නව QR කේතය සහිත ස්ටිකර් ක්‍රමයෙන් පසු, මීට පෙර සිදු වූවාක් මෙන් කිසිදු ව්‍යාජ ස්ටිකර සහිත මත්පැන් බෝතල් වැටලීම් වලදී හමු වී නැති බවත් නිලධාරීහු සඳහන් කළහ.

මේ වන විට නිලධාරීන්ට පමණක් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි සීමාවී ඇති QR කේතයක් මගින් මත්පැන් බෝතල් පරීක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙල ඉදිරියේදි සාමාන්‍ය ජනතාවටත් විවෘත කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  

එසේම මෙම නව ක්‍රමවේදය මගින් සුපිරි වෙළඳසැල්, හෝටල් ඇතුළු මත්පැන් අලෙවිසැල්වල අලෙවියට තබා ඇති මත්පැන් බෝතල් අතර ව්‍යාජ ඒවා තිබේද යන්න හදිසි වැටලීම් මගින් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා විසින් නිලධාරින්ට අවධාරණය කරන ලදී.

සුරාබදු පනතේ පවතින අඩුලුහුඩුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. ඒ අනුව ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට දැනුම් දෙන ලදී.

මත්පැන් මිල ඉහළයාම නිසා නීතිවීරෝධි මත්පැන් පරිභෝජනය වැඩිවීම සිදුවන බැවින් ඊට විසදුමක් ලෙස ගුණාත්මක බවින් යුතු මත්පැන් සාධාරණ මිලකට නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

දියුණුව කරා යන ගමනේදී මේ වන විට  ශ්‍රී ලංකාව සංධිස්ථානයක පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, බදු ගෙවීමේ ක්‍රියාවලිය සඳහා සෑම පුරවැසියෙක්ම සම්බන්ධ විය යුතු බවත් එසේ එක්රැස්කරන බදු රුපියලකුදු නාස්ති නොකර රටේ සංවර්ධනය සඳහා යොදවන  බවත් අවධාරණය කළේය. 

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved