Connect with us

පුවත්

2027 සිට විදෙස් ණය ගෙවීම අලුත් ආණ්ඩුවට ඇති අභියෝගයයි – රනිල්

Published

on

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2027 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ නව රජය හමුවේ පවතින විශාලම අභියෝගය බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බව කී වික්‍රමසිංහ මහතා ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම්වලින් පැන යන්නේ නැති අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බව අවධාරණය කළේය.

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවද ඔහු එහිදී අවධාරණය කළේය.

ආර්ථික අර්බුදයට මුහුණ දී රට ගොඩ ගන්නට තමා සමග වැඩ කළ කණ්ඩායම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් එම පිරිස ජයග්‍රහණය කරවිය යුතු බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

“මම ජනාධිපති ලෙස රට බාරගත්තේ අපට ණය ගෙවන්නට බැරිව බංකොලොත්භාවය ප්‍රකාශ කළ අවස්ථාවේදීයි. මගේ මූලික අරමුණ වුණේ ඒ අවස්ථාවේදී යළිත් ණය තිරසර බව ඇති කර බංකොලොත්භාවය ඉවත් කර ගැනීමයි. ඒ සඳහා මා එම අවුරුදු දෙකේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අපට ණය ලබා දී තිබූ රටවල් දහඅට සහ පෞද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කොට ගිවිසුමකට එළඹුණා.

ඒ අනුව අප ණය තිරසර බව ඇති කිරීම සම්බන්ධයෙනුත් අනතුරුව අප රට බංකොලොත් භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙනුත් එකඟතාවයකට පැමිණියා. මේ සියලු ක්‍රමවේද අවසන් කොට පෞද්ගලික බැඳුම්කරුවන්ගේ අනුමැතිය ලැබුණේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේ දීයි.

මෙලෙස අප ඇති කරගත් ක්‍රමවේදය නිසා අපට දැන් විදේශ බැංකු සමග ගනුදෙනු කරන්න පුළුවන්. එමෙන්ම විදේශ ආධාර ලැබෙනවා. අපගේ ණය තිරසර බව නිසා මේ වනවිට බංකොලොත් බව අවසන් වී තිබෙනවා.

රට බංකොලොත් බැවින් මුදා ගැනීමේ කාර්යභාරය සඳහා මා පසුගිය පාර්ලිමේන්තුව සමඟ වැඩ කටයුතු කළා. එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එමෙන්ම ඒ පාර්ලිමේන්තුව සමග වැඩකටයුතු කළ මගේ නිලධාරී මණ්ඩලයටත් ස්තුතිය ප්‍රකාශ කරනවා.

දැන් අපට තිබෙන්නේ එම තිරසර බව පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි. වත්මන් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන බවට වාර්තා වී තිබෙනවා. එසේ නම් එම සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා මේ රටේ රාජ්‍ය මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එය ක්‍රියාත්මක කිරීම අලුත් පාර්ලිමේන්තුවේ වගකීමක්.

එම වැඩ කටයුතු ක්‍රියාත්මක කර තිරසරභාවය ඇතිකර ගැනීම සඳහා අපට ඉලක්ක කිහිපයක් තිබෙනවා. පළමුවෙන්ම 2028 වසරේ සිට අපට ණය ගෙවන්නට තිබෙනවා. 2027 වසර වන විට අපගේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15ක් විය යුතුයි. දැන් එම අගය සියයට 12යි. ඒ ඉලක්කයට යෑම සඳහා සෑම වසරකම සියයට එකක වර්ධනයක් ලබාගත යුතුයි.

මූලික වශයෙන් මේ වසර අවසන් වන විට අපට 2019 වසරේ තිබූ දළ දේශීය නිෂ්පාදනය යළිත් ලබාගන්න පුළුවන්. ඒ සමගම අපගේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගත යුතුව තිබෙනවා. එම විදේශ විනිමය සංචිතය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10-14 අතර අගයක තිබිය යුතුයි.

මේ ඉලක්ක සපුරාලීමෙන් පසුව අපට ණය ගෙවන්නට තිබෙනවා. මේ කාල සීමාව ඇතුළත අප ඉහත ඉලක්ක සපුරා ගත යුතුව තිබෙනවා. ඒ සඳහා අප ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ යුතුයි. මේ වැඩසටහනේ තවත් වැදගත් කාරණයක්  වන්නේ දුෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කිරීමයි. මේ සියලු කාරණා සම්බන්ධ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මෙම ජනපතිවරණ ප්‍රතිඵල අනුව කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබෙන්නේ නැහැ.

කෙසේ හෝ නව පාර්ලිමේන්තුවේ වගකීම් ඉටුකරන්නට නම් පසුගිය පාර්ලිමේන්තුවේ ලැබූ අත්දැකීම් නතර කළ යුතුව තිබෙනවා. එනම් පසුගිය පාර්ලිමේන්තුවේදී කිසිවෙකුත් මේ වගකීම් බාරගන්නට ඉදිරිපත් වුණේ නැහැ. මම පැමිණ පොහොට්ටුවේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකතු කරගෙන මේ ආණ්ඩුව හදා වැඩකටයුතු කළා.

ඊළඟ පාර්ලිමේන්තුවේදී මෙවැනි සිදුවීම් වන්නට ඉඩ නොතැබිය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් තුනක් තිබෙනවා. ඒ කණ්ඩායම් තුන අතුරින් එක කණ්ඩායමක් ගැන මා මෙහිදී ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේයි. පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය මෙන්ම අනෙක් සියලු කණ්ඩායම් එකට එකතු වී මට සහයෝගය දුන්නා. මගේ නායකත්වය යටතේ මේ අය වැඩකටයුතු කළා. දැන් ඒ සියලු දෙනා එකට එකතු වී තිබෙනවා.

එම මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් මෙන්ම මා සමග වැඩ කටයුතු කළ  එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් කොටසක්ද එකට එක්වී මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. එ් අය ඉදිරිපත් වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාර්ගයෙනුයි. මගේ නායකත්වය යටතේ ඒ අය මේ ඡන්ද වැඩකටයුතු කරන්නට යනවා. මේ සියලු දෙනාටම ඒ පළපුරුද්ද තිබෙනවා. ඒ අය නිසි පරිදි මේ වැඩ කටයුතු කර තිබෙනවා.

මා සමග ඉකුත් වසර දෙකේ වැඩකටයුතු කළ අයට ආර්ථික අර්බුදවලට මුහුණ දීම සඳහා පළපුරුද්ද තිබෙන නිසා ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. විපක්ෂයේ සිටියත් පාර්ලිමේන්තුවේ සිටියත් මේ පළපුරුද්ද නැතිව පාර්ලිමේන්තුව ගෙන යන්න බැහැ. එමෙන්ම එවිට  ඉලක්ක ලබා ගැනීමේදීත් අසාර්ථක වෙනවා.

එම නිසා එක්සත් ජාතික පක්ෂයේ වැඩකටයුතු කළ අයත් අපට සහයෝගය දුන් පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම නව සන්ධානයේත් අනිත් පක්ෂවල සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපගේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන ලෙසයි.

එමෙන්ම මීට පෙර අවස්ථාවේ ඡන්දය නුදුන් අයගෙන් ඉල්ලීමක් කරනවා. රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් මේ පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. නව පාර්ලිමේන්තුවෙන් තීරණය වන්නේ ඔබේ අනාගතයයි. අප සාර්ථකව මේ වැඩ කටයුතු කරනවා නම් රටක් ලෙස ගොඩ එන්න පුළුවන්. අසාර්ථක වුණොත් රට නැවත කඩා වැටෙනවා. නැවත පෝලිම් යුගයට ගමන් කරනවා. එම නිසා ගෑස් සිලින්ඩරයට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පුවත්

හිටපු ඇමති ෆවුසිට එරෙහි පෙත්සමකට දින නියම වේ

Published

on

By

ආපදා කළමනාකරන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් එවක අමාත්‍ය ඒ .එච්.එම්.ෆවුසි මහතා මහජනතාවගේ මූලික මිනිසා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.

වග උත්තරකාර ෆවුසි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර ඔහුගේ නම විවෘත අධිකරණයේ අඬගසනු ලැබූ නමුත් එම අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි සති හතරක් තුළ වග උත්තරකාර හිටපු අමාත්‍යවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ඇමති ඒ .එච්.එම්. ෆවුසි , ඔහුගේ ‍ලේකම් වරිය ලෙස කටයුතු කළ සිත්ති මරීනා මොහොමඩ් ඇතුළු 08 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ 2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දුන් බවත් පසුව ඔහු එය තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් බවයි.

පසුව අමාත්‍යංශ අරමුදල් වලින් රුපියල් මිලියනයක පමණ මුදලක් වැය කර ඔහු එම වාහනය නඩත්තු කර තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ අතර ඔහු එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණය විසින් වසර 10 කට අත් හිටවූ සිර දඬුවම් නියම කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

අමාත්‍යවරයෙක් වශයෙන් ෆවුසි මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබූණද මෙම ක්‍රියාව තුළින් ඔහු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙන බවත් ඒ තුළින් ඔහු රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Continue Reading

පුවත්

ලංකාවේ Starlink ආරම්භය ගැන ඉඟියක්

Published

on

By

සිංගප්පූරුවේ පැවති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් වැදගත් ද්විපාර්ශ්වික හමුවක් සංවිධානය කරන ලදී.

මෙම හමුව සඳහා මෙරට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

ශ්‍රී ලංකා රජය ඩිජිටල් ලෙස පරිවර්තනය කිරීම සඳහා දරන පුළුල් උත්සාහයන් පිළිබඳව තානාපති ලැන්ග් මහතා අගය කළ අතරම ඒ සඳහා සහයෝගය පළ කර සිටියේය.

සාකච්ඡාවේ දී සාකච්ඡා කළ ප්‍රධාන කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙලයි.

ස්ටාර්ලින්ක් මෙහෙයුම් දියත් කිරීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් සම්පූර්ණ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මෙහිදී තහවුරු කළ අතර  ස්ටාර්ලින්ක් වෙතින් ලබාදීමට නියමිත තොරතුරු පුවරු (Dashboard) ලැබුණු පසු, මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කළ හැකි බව ද දන්වා සිටියේ ය.

ඊට අමතරව මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කළ අතර ඒ අනුව, ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම,පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධයව අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය සඳහා ඒවා අභියෝගාත්මක සහ සංකීර්ණ බව විස්තර කරමින් තානාපති ලැන්ග් මෙම මුලපිරීම්වල වැදගත්කම සහ අත්‍යාවශයතාවය අවධාරණය කළේය. මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටත් ඔහු තවදුරත් අවධාරණය කළේය.

මෙම හමුව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ චාන්සරි ප්‍රධානී අහමඩ් රාසි  සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ උපදේශක සුමුදු රත්නායක යන මහත්වරුන් සහභාගී වූහ.

Continue Reading

පුවත්

විදුලිබල පනතට එරෙහිව පෙත්සමක්

Published

on

By

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසිනි.

මෙම පෙත්සම අද (02) ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම නැවත විභාගය සඳහා ලබන 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) නියෝග කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved