පුවත්

70 වන සාංචි මහාබෝධි මහෝත්සවය ලබන සතියේ

Published

on

වාර්ෂිකව පැවැත්වෙන සාංචි මහාබෝධි මහෝත්සවය මෙවර නොවැම්බර් 26 හා 27 යන දෙදින තුළ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති හා සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙම මහෝත්සවය ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා 1851 සාංචි නටබුන්වල කරන ලද ගවේශණයක දී සොයාගත් සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර 1952 ඉදි කළ සාංචි චේතියගිරි මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

එවකට බෝපාල් පාලක නවාබ්තුමා පරිත්‍යාග කළ ඉඩමක ඉදිකළ මෙම විහාර ගර්භයෙ තැන්පත් කර ඇති අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා වසරකට වරක් එම විහාර ගර්භයෙන් විහාර මන්දිරයට වැඩම කර මහජනයාට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීම මහාබෝධි මහෝත්සවයේ ප්‍රධාන කාර්ය බව පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍ය ප්‍රදේශ් රජයේ සංචාරක හා සංස්කෘතික අමාත්‍ය ඌෂා තාකූර් (Usha Thakur) මහත්මිය සහභාගී වන බවත්,මධ්‍ය ප්‍රදේශ් රජයේ සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පිළිබඳ අමාත්‍ය වෛද්‍ය ප්‍රභූරාම් චෞද්‍රි මහතා (Dr. Prabhuram Choudhary) සහ මධ්‍ය ප්‍රදේශ අතිරේක පොලිස්පතිනි අනුරාධා ශංකර් සිංග් මහත්මිය ද සහභාගි වන බව සාංචි චේතියගිරි විහාරාධිකාරි බානගල විමලතිස්ස හිමියෝ පවසති.

ඉන්දියාවේ නවදිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මෙවර සාංචි මහාබෝධි මහෝත්සවයේ සුවිශේෂී ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වන බව ද විමලතිස්ස හිමියෝ පවසති.

ඊට අමතරව වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, ජපානය සහ ශ්‍රී ලංකාව යන රටවල බෞද්ධ සැදැහැවතුන් ද ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකින්ම බෞද්ධ සැදැහැවතුන් ද මෙවර සාංචි මහබෝධි මහෝත්සවයට සහභාගිවීමට නියමිත බව සාංචි විහාරවාසී උඩුගම තපස්සි හිමියෝ පවසති.

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් හා කලාකරුවන් විස්සකට ආසන්න පිරිසක් ද මෙවර සාංචි මහබෝධි මහෝත්සවයට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන බව එහි සභාපති උපුල් ජනක ජයසිංහ මහතා පවසයි.

Trending

Exit mobile version