Connect with us

පුවත්

Bannercuts පිරමීඩ ජාවාරමක් : රුපියල් කෝටි 300ක් ගිලලා

Published

on


අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වූ දැන්වීම් කියවීමෙන් මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන බව සඳහන් වූ “බැනර්කර්ට්ස්” (Bannercuts) නමැති නීති විරෝධී පිරමිඩ ජාවාරමකට හසුවීමෙන් දිවයින පුරා විශාල පිරිසක් රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් අහිමි කරගෙන සිටින බව වාර්තා වේ

රුපියල් පනස්දහසේ සිට රුපියල් කෝටි දහය දක්වා වන මුදල් තැන්පත් කර එම මුදල් අහිමි කරගත් පිරිස් මේ වංචාවට හසුව සිටිති.

මෙම පිරමීඩ ජාවාරම 2015 වසරේ සිට ක්‍රියාත්මක වී තිබෙන අතර ඉන් පසුව ඇතිවූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2019 වසරේ සිට ක්‍රියාත්මකවී නොමැත. 

ඉන් පසුව මුදල් යෙදවූ පුද්ගලයන් සමග ජාවාරම පවත්වාගෙන ගිය පුද්ගලයන් සම්බන්ධතා අතහැර ආයෝජනය කළ මුදල් හෝ ඊට අදාළ පොලී මුදල හෝ ලබාදීම නවත්වා ඇති බවද පැවසේ.

ජංගම දුරකථන වෙත එවනු ලබන විවිධ වර්ගයේ දැන්වීම් බැලී⁣මෙන්⁣ පසුව ඒ සඳහා ලබාදෙන ලකුණු ක්‍රමවේදයකට අනුව ආයෝජනය කළ මුදලට පොලියක් ලබාදීම මෙම පිරමීඩ ජාවාරම පවත්වාගෙන යාමේ ක්‍රමවේදය වන අතර මෙම ජාවාරම නාරාහේන්පිට ලිපිනය සඳහන් දැන්වීම් සමාගමක් විසින් පවත්වාගෙන ගොස් ඇති බව කියයි. 

මෙම දැන්වීම් සමාගමේ හිමිකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි දේශපාලන සබඳතා සහිත පුද්ගලයකු බවද අනාවරණය කරගෙන තිබේ.

පාසල් ගුරුවරුන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ව්‍යාපාරිකයන්, පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, ග්‍රාම නිලධාරීන් මෙන්ම රජයේ සහ පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන් විශාල පිරිසක් මෙම ජාවාරමට හසුව තම මුදල් අහිමිකරගෙන සිටිති.

මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවී සමාගම් මැදුරේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී ඒ ඔස්සේ ජනතාව රවටමින් ක්‍රියාත්මකවී ඇති බව අනාවරණය වී තිබේ. 

කුරුණෑගල බෝයගනේ නයිලිය පදිංචි විශ්‍රාමික ගුරුවරයකු වන සුසන්ත මුදලිගේ (65) මහතාද 2019 වසරේදී මේ ජාවාරමට සම්බන්ධවී රුපියල් ලක්ෂ 10ක මුදලක් අහිමි කරගෙන සිටින අයෙකි.

“කුරුණෑගලම ඉන්න මගේ යාළුවෙක් තමයි මාව මේකට සම්බන්ධ කළේ. මම දන්න ගොඩාක් අය මේකට සම්බන්ධ වෙලා හිටිය නිසා මාත් බය නැතිව මේ ව්‍යාපාරයට මුදල් යෙදෙව්වා. අපිට දැන්වීම් බලලා ටාගට් එකක් දෙනවා. ඒ ටාගට් එකේ විදියට තමයි අපිට පොලී මුදල් ලැබුණේ. මුදල් යොදවලා සති තුනකට පසුව මට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලැබුණා පොලියක් විදියට. ඉන් පසුව විවිධ ප්‍රශ්න කියමින් මේක පවත්වාගෙන ගිය ප්‍රධාන පුද්ගලයා අපිට දුරකථන ඇමතුම්වලටවත් උත්තර දෙන්නේ නැතිව මඟහරින්න ගත්තා.”

“පසුව මම මේ ගැන කුරුණෑගල කොට්ඨාස වංචා විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් කළා. මාත් සමග බැනර්කට් වංචාවට හසුවුනූ තවත් කීපදෙනෙක්ම පැමිණිලි කරලා තිබුණා.”

කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන වසන්ත මහතා පැවසූවේ තමා සමග තම පවුලේ ඥාතීන්ගේ සහ සමීපතම හිතවතුන්ගෙන් ලබාගත් රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් බැනර්කට් ව්‍යාපාරය සඳහා ආයෝජනය කර ඇතත් මේ වනවිට එම මුදල් නොලැබී යාමෙන් බරපතළ ගැටලුවකට මුහුණපා සිටින බවය. 

මෙම වංචාවට හසුවූ පිරිස් එක්ව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිලිවලට අනුව කරන ලද විමර්ශනවලින් පසුව bannercut.lk නමැති අන්තර්ජාලය හරහා ක්‍රියාත්මකවූ මූල්‍ය ව්‍යාපාරය නීතිවිරෝධි පිරමීඩ ජාවාරමක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද තහවුරු කර ඇත.

ඒ අනුව මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය (FCID) වෙත යොමුකර තිබේ.

වංචාවට හසුවූවන් චෝදනා කරන්නේ මෙම ජාවාරමේ ප්‍රධානියා කියන පුද්ගලයාට ඉහළ පෙළේ දේශපාලන සබඳතා ඇති බව කියන නිසා ඔහු බාධාවකින් තොරව මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවය. 

ඇතැම් විට එම පුද්ගලයා වෙනත් නමකින් වෙනත් ක්‍රමවේදයකට මෙම ජාවාරම පවත්වාගෙන යාහැකි බවද ඔවුහු සඳහන් කළහ.

මූලාශ්‍රය – අරුණ

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved