පුවත්

කැබිනට් මාරුව තවත් කල් යයි; 4කට රනිල් අකමැතියි

Published

on

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම්වන බව වාර්තා වේ.

මෙම සංශෝධනයත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට ඇමැතිධුර හෝ රාජ්‍ය ඇමැතිධුර ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රිවරු දස දෙනකු පමණ ආණ්ඩුවට එක් වීමට නියමිතව ඇති බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

මේ වන විට කැබිනට් හා රාජ්‍ය ඇමැතිධුර දරන ඇතැම් මන්ත්‍රිවරුන්ගේ විෂය පථයන්ද වෙනස් කිරීමට සැලසුම් කර ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් ඇමැති සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්ද පසුගිය සතියේ පවත්වා තිබේ.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන් අලුත්ගමගේ හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන්ට ඇමැතිධුර ලබාදීමට ජනාධිපතිවරයා අකමැත්ත පල කර ඇතැයි වාර්තා වේ.

මේ අතර, මාධ්‍ය හිමිකරුවෙකු සිය හිත මිතුරු වර්තමාන විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්කර ගැනීමට මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්තා වේ.

විසි එක් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට මුදල් අමාත්‍ය ධුරය හෙබවීමට නොහැකි වීම මීට හේතුව ලෙස පෙන්වමින් ඔහු මේ මෙහෙයුම අරඹා ඇතැයි වාර්තා වේ.

මෙම මෙහෙයුම ක්‍රියාත්මකවීමට තවත් හේතුවක් වී ඇත්තේ ආන්දෝලනාත්මක සීනි බදු සිද්ධිය සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැකසූ වාර්තාව ලබන සතියේ දී මූදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත ලැබීමට නියමිත බවට වාර්තා පලවීමත් සමඟ බවද පැවසේ.

2020 වසරේදී සිදුවූ ආන්දෝලනාත්මක සීනි බදු අඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සකස් කළ වාර්තාව පාදක කරගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම වාර්තාව සකසා තිබේ.

වාර්තාව තමන් අතට පත්වීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබිණි.

Trending

Exit mobile version