Connect with us

පුවත්

CEBයේ අණ්ඩරේට පබ්ලිසිටි දුන්නේ ලයිට් නොදී ජනතාව බයිට් කරන්න?

Published

on

දැනට පවතින ගල්අඟුරු ජනවාරි 02 වැනිදා සිට අවසන් වන බවත්, ඊට පෙර ගල්අඟුරු නැවක් නොපැමිණියොත් විදුලි ඉංජිනේරුවන් කී පරිදි දැවැන්ත විදුලි කප්පාදුවකට යාමේ අවදානමක් ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.

පසුගිය බදාදා රාත්‍රී 12 වනවිට නොරච්චෝලේ බලාගාරය සඳහා මෙට්‍රික් ටොන් ලක්ෂයක ගල්අඟුරු ප්‍රමාණයක් තිබූ බවත්, දිනකට මෙට්‍රික් ටොන් 7500ක් අවශ්‍ය නිසා එම අඟුරු ප්‍රමාණය ජනවාරි 02 වැනිදා වනවිට අවසන් වන බව හෙතෙම කියා සිටී.

මෙරට පැමිණීමට නියමිත ගල්අඟුරු නැව මොසැම්බික් රාජ්‍යයේ මපිටෝ ප්‍රදේශයේ ඇති බවත්, ගල්අඟුරු පිරවීම අදින් (25) අවසන් වන නිසා එම නැව දින 13කට පසුව ලංකාවට පැමිණෙන බව ඒ මහතා කීය.

එසේ පැමිණි නැවෙන් ගල්අඟුරු බෑම සඳහා තවත් දින 5 කට ආසන්න කාලයක් ගතවෙන බවත් ඒ නිසා ජනවාරි 02 සිට එසේ ගල්අඟුරු බෑම සිදුවන දිනය තෙක් ගල්අඟුරු අහිමි වුවහොත් නොරච්චෝල බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රිය වන බව හෙතෙම වැඩිදුරටත් කීය.

ඒ නිසා විදුලි කප්පාදුවක අවදානම ඇති බව ජනක රත්නායක මහතා අවධාරණය කළේය.

ඇමතිගේ මන්තරේ..

මේ අතර, සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තාකර ඇත්තේ 2023 වසරේදී ලක්විජය ගල් අඟුරු බලාගාරයේ (නොරොච්චෝලේ) ජනන යන්ත්‍ර තුනේ නඩත්තු කටයුතු වෙනුවෙන් ඒවා වරින් වර දින 160කට ආසන්න කාලයකට නතරකර තැබීමට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) තීරණය කර ඇති බවයි.

ඒ අනුව විශය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියා සිටින්නේ නොරොච්චෝලේ බලාගාරයේ ඇති විදුලි ජනන ඒකක තුන A මට්ටම සහ C මට්ටමේ නඩත්තු සිදු කිරීමට ලංවිම සැලසුම් කර ඇති බවයි.

එම විදුලි ජනන ඒකක තුන නඩත්තු කරනු ලබන සෑම අවස්ථාවකම විදුලි ජනන ඒකක දෙකක් ඒකාබද්ධව මෙගා වොට් 600ක විදුලි සැපයුමක් පවත්වා ගනිමින් නඩත්තු කටයුතු සිදුකරන බවද ඔහු කියා සිටී.

විජේසේකර මහතා පවසන පරිදි, පළමු ජනන යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය C මට්ටමේ නඩත්තු වැඩසටහනක් සඳහා දින 30ක කාලයකට (2023 මැයි-ජූනි) නතර කිරීමට ලංවිම සැලසුම් කර තිබේ.

එසේම C මට්ටමේ නඩත්තු වැඩසටහනක් සඳහා දෙවන ජනන යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය දින 30ක කාලයක් (ජූනි-ජූලි 2023) සඳහා අත්හිටුවීමට නියමිතය.

විජේසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ තෙවැනි ජනන යන්ත්‍රය මේ වසරේ විශාල අලුත්වැඩියාවක් සිදුකිරීමට නියමිතව තිබුණද, එම නඩත්තු කටයුතු 2023 සැප්තැම්බර් දක්වා කල් දමා තිබෙන අතර එහි නඩත්තුවට දින 100ක කාලයක් වෙන් කෙරෙන බවයි.

ඒ අනුව එහි නඩත්තු කටයුතු 2023 සැප්තැම්බර් 20 සිට දෙසැම්බර් 31 දක්වා සිදු කිරීමට නියමිය.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් විදුලිය ඒකක මෙගාවොට් 300ත් 270ත් අතර නිපදවන අතර එම ඒකක් තුනම ක්‍රියාත්මක වන විට දළ වශයෙන් මෙගාවොට් 900කට ආසන්න ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතුවේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සැලැසුම අනුව ලබන වසරේදී මෙම සම්පූර්ණ ඒකක ප්‍රමාණය ලබාගත හැකි වන්නේ දින 205 කට ආසන්න කාලයකි.

අලි මදිවට කොටි

මේ හෙළිදරව්වත් සමඟ විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ කියා සිටින්නේ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මේ සැලැසුම ඉංග්‍රීසි පුවත්පතක් මගින් හෙළිකර ඇත්තේ ජනතාව නොමඟ යැවීමට බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මීට පෙර අමාත්‍යවරයා කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන ලබන වසරේ අවස්ථා තුනකදී අලුත්වැඩියා කටයුතු සඳහා අක්‍රීය කිරීමට අවසර ඉල්ලා ඇති බවත්, ගල්අඟුරු ගැටලුවත් සමඟ එහි අලුත්වැඩියා කටයුත්තක් සඳහා එක ජනන යන්ත්‍රයක් පමණක් අක්‍රීය කිරීමට බලාපොරොත්තු වන බවත් දැන් වරින් වර තුනම අක්‍රිය කරන බව පවසන බවයි.

එය තරමක සැකයක් මතුකරනු ලබන තත්ත්වයක් බව ඔවුහු කියති.

කෙසේවුවද, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අභයන්තර ආරංචි මාර්ග අනුව වාර්තා වන්නේ අදාළ නඩත්තු කිරීම් දින 90ක් තුළ කළ හැකි බවයි.

එතරම් කාලයක් පවා මේ සඳහා ගතවන්නේ එහි අමතර කොටස් චීනයෙන් ගෙන්වා ගැනීමට සිදුවීම හා එහි අලුත්වැඩියා කටයුතුවලට චීන ඉංජිනේරුවන්ගේ සහය ලබා ගැනීමට සිදුවීම නිසා බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සතුව ඉංජිනේරුවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සිටිය ද ඔවුන් කිසිවකුට මෙහි අලුත්වැඩියා කටයුත්තක් සිදු කළ නොහැකි බවද පැවසේ.

නොරොච්චෝලේ නඩත්තුවට දිගු කාලයක් සැලැසුම් කර එහි තොරතුරු සතිඅන්ත පුවත්පතකට ලබා දී ඇත්තේ ගල් අඟුරු හිඟය මඟ හැරීමට බවයි.

මේවන තෙක්ම විශය භාර අමාත්‍යවරයා ඇතුළු පිරිසට ගල්අඟුරු ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කර ගැනීමට නොහැකි වී ඇතැයි මේ අතර වාර්තා වේ.

ගල් අඟුරු ටෙන්ඩරේ ගිවිසුම තාම නීතිපති ළඟ

ලංකා ගල් අඟුරු සමාගම (LCC) ලක්විජය බලාගාරයට අවම වශයෙන් දින 180 ක ණය පහසුකම් යටතේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 2,250,000 (± 10%) සැපයීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති සමාගම් නවයෙන් තුනක් මේවන විට තෝරාගෙන තිබේ.

කෙසේවුවද, එම සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවස්න්නේ එම සමාගම්වලට සම්බන්ධ ගිවිසුම්වලට අදාළ කෙටුම්පත් ලේඛන නීතිපතිවරයා වෙත යවා ඇති බවයි.

ඔහු එම පුවත්පතට ම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “අපි නිල වශයෙන් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන්නේ නීතිපතිවරයා අවසර දුන් පසුවයි. එතෙක් අපි මූලික කටයුතු කරගෙන යනවා. අපි තවමත් කෙටුම්පත් කරමින් සිටින අතර මේ සියල්ල අනුමැතියට යටත්ව පවතිනවා,” යනුවෙනි.

මේ අනුව, ගල්අඟුරු ගෙනඒමේ ප්‍රමාදය උග්‍රවනු ඇති බව අනුමාන කිරීම අපහසු නොවන බවත්, අදාළ සටහන් පුවත්පතකින් පිටකරුණු ලැබුවේ ජනතාවට උත්තර බැඳීමේ පූර්ව සැලැසුමක් සඳහා යැයි විදුලි ක්ෂේත්‍ර විශේෂඥයෝ කියති.

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved