ආපදා කළමනාකරන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් එවක අමාත්‍ය ඒ .එච්.එම්.ෆවුසි මහතා මහජනතාවගේ මූලික මිනිසා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.
මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.
වග උත්තරකාර ෆවුසි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර ඔහුගේ නම විවෘත අධිකරණයේ අඬගසනු ලැබූ නමුත් එම අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටියේය.
පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි සති හතරක් තුළ වග උත්තරකාර හිටපු අමාත්‍යවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ඇමති ඒ .එච්.එම්. ෆවුසි , ඔහුගේ ලේකම් වරිය ලෙස කටයුතු කළ සිත්ති මරීනා මොහොමඩ් ඇතුළු 08 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරු කියා සිටින්නේ 2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දුන් බවත් පසුව ඔහු එය තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් බවයි.
පසුව අමාත්‍යංශ අරමුදල් වලින් රුපියල් මිලියනයක පමණ මුදලක් වැය කර ඔහු එම වාහනය නඩත්තු කර තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ අතර ඔහු එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණය විසින් වසර 10 කට අත් හිටවූ සිර දඬුවම් නියම කළ බවත් පෙත්සමේ සඳහන් වේ.
අමාත්‍යවරයෙක් වශයෙන් ෆවුසි මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබූණද මෙම ක්‍රියාව තුළින් ඔහු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙන බවත් ඒ තුළින් ඔහු රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.