Connect with us

පුවත්

COPA පැමිණි නිලධාරීන් නැවත හරවා යවයි

Published

on

සූදානමකින් තොරව කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය පළ විය.

මේ අනුව ඉදිරි දිනකදී නැවත පැමිණීමට දැනුම්දෙන බවත් එදින සූදානම්වී පැමිණෙන ලෙසත් දන්වමින් පැමිණි නිලධාරීන් නැවත හරවා යැවීම සිදුවිය.

මෙසේ නිලධාරීන් හරවා යැවීම සිදුවූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA)  පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පසුගිය රැස්වීම්වලදී ලබාදුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් විමසා සිටින ලදි. විශේෂයෙන්ම
රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධවීමට ප්‍රථම, සිදුවූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු
25ක් පිළිබඳ සිදු කළ පරීක්ෂණ හා එම කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ග ඇතුළු වර්තමාන තත්ත්වය සඳහන් කරමින්
කාරක සභාවට වාර්තාවක් ලබා දිය යුතුව තිබූ බවත් එය ලබා දී නොමැති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.මෙහිදී නිලධාරීන් වාර්තාවක්
ලබා දී ඇති බව පැවසුවත් විගණකාධිවරයා එය තමාට ලැබී නැති බව පැවසීය. මෙහිදී ලබාදුන්නේ යැයි පැවසූ වාර්තාවේ පිටපතක් සභාගත කළ
අතර එම පිටපත පරීක්ෂා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් විය නෙ‍ාහැකි බව විගණකාධිපතිවරයා කාරක සභාවට
පැවසීය. මේ අනුව මේ සම්බන්ධයන් දීර්ඝ වශයෙන් කමිටුව කරුණු විමසූ අතර නිලධාරීන් එ් සඳහා පිළිතුරු ලබාදීමට අපොහොසත් විය. නිලධාරීන්
පෙන්වා දුන්නේ පැරණි තොරතුරු තමන් සතුව නොමැති බවයි.

මේ අනුව කාරක සභාව නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පල කරමින් මෙම ආයතනය නැවත කැඳවන බව දන්වමින් කාරක සභාව අතරමග
නැවැත්වීමට කටයුතු කළේය. එසේ පැමිණෙන දින හොඳින් සූදානම්වී පැමිණෙන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදීම ද කාරක සභාව විසින් කටයුතු කරන ලදි.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර්ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න, කාරක
සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චන්දන සූරියආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, සුසන්ත කුමාර නවරත්න, (වෛද්‍ය) ජනක සේනාරත්න, දිනිඳු සමන් සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved