Connect with us

පුවත්

CoPF සභාපති ධුරය යළිත් හර්ෂට

Published

on

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබේ.

තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සදහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම සිදුවූ අතර එහිදී සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත. 

මෙසේ පත්කළ සාමාජික මන්ත්‍රීවරයන්ගේ නම් ගරු කථානායකවරයා විසින් අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ශෙහාන් සේමසිංහ, වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය හර්ෂ ද සිල්වා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ මධුර විතානගේ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරයන් මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.

පුවත්

මනම්පිටිය දේවස්ථානයට වෙඩි තැබූ අය අල්ලයි!

Published

on

By

මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඊයේ (18) රාත්‍රී 7ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

එමෙන්ම වෙඩිතැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 38ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක්ය.

මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව ඇත.

සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.

මෙම සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

Continue Reading

පුවත්

“පොලිස් ඇමති – නිශ්ශංකව හමුව, බොරු පුවතක්”

Published

on

By

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශය වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් එම්.ඒ.ඩී දීගායු මහතාගේ අත්සනින් එම ලිපිය නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ නිශ්ශංක සේනාධිපති සම්බන්ධ කරමින් ව්‍යාජ ලෙස සකස් කරන කළ ප්‍රවෘත්ති සමාජ මාධ්‍යයේ  සංසරණය වනු නිරික්ෂණය වන බවත්  අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා විසින් තම අමාත්‍යංශයේදී නිශ්ශංක සේනාධිපති  මුණ ගැසුණු බව හැඟවෙන ආකාරයෙන් එකී ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇති බවත් අදාල ලිපියේ දැක්වේ.

එය ව්‍යාජ ප්‍රවෘත්තියක් වන අතර කිසිදු අවස්ථාවක ආනන්ද විජේපාල  මහතා හෝ ඔහුගේ නියෝජිතයකු නිශ්ශංක සේනාධිපති මුණ ගැසී නොමැති බවද එහෙත් මෙලෙස දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීම හරහා අමාත්‍ය  ආනන්ද විජේපාල මහතාගේත් වත්මන් රජයේත් කීර්ති නාමය හා ජනතා විශ්වාසය පළුදු වීම සිදු වන බව නිරීක්ෂණය වන්නේ යැයි ද අදාල ලිපියෙහි සඳහන් වේ.

එම නිසා දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්තීන් සමාජගත වීම  හරහා සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මහජනතාව සතු අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන අතර චේතනාන්විත ලෙස සාවද්‍ය  තොරතුරු සමාජගත කිරීම් හරහා සමාජයට අගතිදායී ප්‍රතිඵල ඇති කරන බව තම හැගීම යැයි ද ව්‍යාජ ප්‍රවෘත්ති  පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ පවත්වා අවශ්‍ය නෛතික පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

සැදැහැවතුන් විශාල පිරිසක් පළමු දිනට දළදා වහන්සේ වැඳපුදා ගනී

Published

on

By

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (18) උදාවුණි.

ඒ දහසය වසරකට පසු අද ඇරඹි සිරි දළදා වන්දනාව සමඟිනි.

සිරි දළදා වන්දනාවේ සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්වූ අතර දළදා වන්දනාවේ පළමු දිනය වූ අද 60,000ක පමණ සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගත්හ.

සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ, ලෝ වාසී බෞද්ධයන්ගේ අපමණ ගරු බුහුමන් මැද වැඩවෙසෙන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට මෙන්ම විදෙස් තානාපතිවරුන්ට ද අද උදාවුණි.

විදෙස් තානාපතිවරුන්ව කොළඹ සිට මහනුවර දක්වා විශේෂ දුම්රියක් මඟින් රැගෙන ගොස් තිබුණි.

‘සිරි දළදා වන්දනාවෙහි සමාරම්භය වෙනුවෙන් ප්‍රථමයෙන් අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිවරු දළදා මාලිගය වෙත වැඩම කළහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම සිදුවුයේ ඉන් අනතුරුවය.

ඉන් අනතුරුව අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් සිරි දළදා වන්දනාවකදි සිදු කරන විශේෂ ආගමික වතාවත් ඉටුකෙරුණි.

එහිදි සිරි දළදා වන්දනාවෙහි සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදුකර තිබේ.

ආගමික වතාවත්වලින් පසු ”සිරි දළදා වන්දනාව” ඇරඹුණු අතර මෙරට සේවයේ නිරත විදෙස් තානාපතිවරුන් රැසක් ද දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණ සිටීම විශේෂත්වයකි.

දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ බලාපොරොත්තුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් මහා පිරිසක් අද පස්වරුව වන විටත් දිගු පෝලිම්වල රැඳී සිටියහ.

මෙම සැදැහැවතුන් වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනක් සකස් කර තිබේ.

ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම දක්වා, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාළිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා ලෙසිනි.

අද දහවල් 12.30ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව පස්වරු 5.30ට අවසන් කෙරුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved