Connect with us

පුවත්

EPF පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Published

on

සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය 09% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයකු වන චතුරංග අබේසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

මෙම පෙත්සම ඊයේ (10) සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි  මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම යෝජනාවලට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බවය.

ඒ අනුව අදාළ යෝජනා විධිමත්ව ව්‍යවස්ථාදායකය හමුවේ අනුමත වී ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු සලකා බැලීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දි තිබේ.

සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස කරුණු දක්වා ඇත.

එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව එම කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

සේවක අර්ථසාධක අරමුදල විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 12% සිට 09% දක්වා අඩු කිරීමට එකඟ නොවන්නේ නම් 30%ක බද්දක් පැනවීමට සිදුවන බවට රජය විසින් කර තිබෙන ප්‍රකාශය අතිශය සාහසික බව ද ජනාධිපති නීතිඥවරයා ඊයේ චෝදනා කර තිබිණි.

ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

අද (11) දෙවන දිනටත් පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුවිය.

කරුණු සලකා බැලීම අවසන්වීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කරන බවය.

(අද දෙරණ)

පුවත්

ජනපති විවෘත කළ කාගම හිමිගේ තෙමහල් ධාතු මන්දිරේ හොරු බිඳලා

Published

on

By

ගල්කිරියාගම ප්‍රදේශයේ විහාරස්ථානයක අභිනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මන්දිරය බිඳ එහි කරඬුව තුළ තැන්පත් කර තිබූ මැණික් ගල් රැසක් හා මුදල් සොරකම් කරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සොරුන් විසින් මෙලස බිඳ ඇත්තේ ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් විහාරයට අයත් අභිනව තෙමහල් ධාතු මන්දිරයයි.

මේ ධාතු මන්දිරය විචිත්‍ර ධර්ම කථික කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද එකක් වන අතර උන්වහන්සේ වැඩ වසන විහාස්ථානය ද මෙය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක් අනුව ගල්කිරියාගම පොලිසිය මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

පෙරේදා (07) රාත්‍රියේ පැමිණ ඇති කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළුව ඇති බව පොලිසිය කියා සිටියි.

තෙමහල් ධාතු මන්දිරයට ඇතුළු වූ සොරුන් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬුන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එම සොරකම සිදුකර ඇති බව හෙළිවී ඇත.

කරඬු වහන්සේගේ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 19ක් එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබේ.

එම ධාතු මන්දිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් තොගයක් ද සොරකම් කරගෙන ගොස් ඇත.

සොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති මෙම අභිනව තෙමහල් ධාතු මන්දිරය ඉකුත් මැයි මස 30 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත වූවකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

හොර පා පැදි 170ක් සමඟ අයෙක් අල්ලයි

Published

on

By

සොරකම් කරන ලද පා පැදි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් අනුව මට්ටක්කුලිය, රාවතාවත්ත පාර ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදු කර තිබිණි.

එම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 600ක්ද සොයා ගත් බවයි කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියා සිටී.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහුගේ නිවසේ තිබී අනන්‍යතාව තහවුරු කරගත නොහැකි පා පැදි 170ක් සොයා ගත් බවද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සඳහන් කළේය.

හතලිස් පස් හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. 

Continue Reading

පුවත්

අත්අඩංගුවට ගත් අනුරාධපුර සහකාර බන්ධනාගාර කොමසාරිස් අද අධිකරණයට

Published

on

By

අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළවය.

රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ.

ඒ අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකු ඉකුත් මැයි 12 වැනිදාට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර ඇති බව පැවසේ.

බන්ධනාගාර අධිකාරිවරයාගේ එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය අදාළ විත්තිකරුව නිදහස් කර මුදා හරින ලෙස නියෝගකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර අනුරාධපුර බන්ධනගාර අධිකාරිවරයා අද (09) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved