Connect with us

පුවත්

EPF හට හානියක් නෑ ; ලැබෙන 9%ක ප්‍රතිලාභය ඉදිරියටත් – මනූෂ

Published

on

සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

බදු පැනවීමක් සිදුවන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සතු මුදල් සඳහා නොවන අතර අරමුදල සතු මුදල් ආයෝජන කිරීමෙන් පසුව ලබන ලාභයට සියයට 14ක ප්‍රතිශතයක් ලෙස පමණක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම කම්කරු හා විදේශ රැකියා අමත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේ ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි එකඟතා අනුව සහ ණය හිමියන් සමග ඇති කරගත් එකඟතා මත මේ වනවිට විදේශීය ණය ප්‍රශස්ථකරණය කිරීමේ කටයුතු සූදානම්ව තිබෙනවා. නමුත් මේ විදේශීය ණය ප්‍රශස්තකරණය සමඟ දේශීය ණය ප්‍රශස්තකරණයට ද අප යොමු විය යුතුයි.  

ඒ විදෙස් ණය ලෙස අප ලබාගෙන ඇත්තේ ඒ  ඒ රටවල ජනතාවගේ බදු මුදල් වන නිසයි. එම නිසා ලබා ගත් විදෙස් ණය ගෙවීමට අසමත්ව සිටින රටක් ලෙස දේශීය ණය ප්‍රශස්තකරණයක් නොකොට විදෙස් ණය පමණක් ප්‍රශස්තකරණයට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටීමට අපට අවස්ථාවක් නැහැ.එබැවින් දේශීය ණය ප්‍රශස්තකරණය කිරීම අනිවාර්යයක් වනවා.

එහි දී ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ණය ලබාගෙන ඇති මූලාශ්‍රවලින් බහුතරයක් ගෙන තිබෙන්නේ EPF- ETF අරමුදල් මගිනුයි. මේ ගැන විවාදයක් ඇතිව තිබෙන්නේ ද එම නිසයි. එහිදී ඇතැමුන් ප්‍රශ්න කරනවා දේශීය ණය ප්‍රශස්තකරණය බැංකුවලට අදාළ නොකළේ ඇයි කියලා. 

ඒ සදහා අපට දියහැකි පැහැදිළි පිළිතුර වන්නේ, බැංකුවලින් සියයට 30ක බදු අයකිරීමක් අඛණ්ව සිදු කෙරෙන බවයි. 

ඒ අනුව අපි රජයක් ලෙස පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඉදිරි කාලය සදහා මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථකව සිදු කරනවා වගේම මහජන අරමුදල්වල සාමාජිකයන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට පොරොන්දු වූ 9%ක ප්‍රතිලාභය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරනවා. 

ඒ අනුව පුද්ගලයෙකු සතු මුදල්වලින් සියයට 09ක වාර්ෂිකව ලැබිය යුතු ප්‍රතිලාභය අඛණ්ඩව ලබා දෙනවා. ඒ හැර නැවත සියයට 14 හෝ සියයට 30 බදු අයකිරීමක් සිදුවන්නේ නැහැ. මේ ගැන ඇතැමුන් කරුණු විකෘති කරනවා. ජනතාව නොමඟ යවනවා. 

බදු පැනවීමක් සිදුවන්නේ සේවක අර්ථසාදක අරමුදලේ ඇති මුදල් ආයෝජනය කිරීමෙන් පසු ලබන ලාභයට සියයට 14ක බදු අයකිරීමක් ලෙස පමණයි. 

මිලියන 2.4ක් වන අපගේ ශ්‍රමිකයිකයින්ගෙන් එක් අයෙකු සතුව අද වන විට බැංකුවේ ලක්ෂ 10ක් ඇත්නම් එම මුදලට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. ඒඅනුව ඔහු විසින් එම මුදල ලබා ගැනීමට සූදානම් වන අවස්ථාවේ ඔහුට ඒ සදහා වාර්ෂිකව සියයට 09 බැගින් එකතු වූ ප්‍රතිලාභය ලබා දීමට  සුදානම්. 

ඒ වගේම EPF / ETF අරමුදල අනතුරකට ලක් වන්නේ අපි විසින් දේශීය ණය  ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොකළහොත් පමණයි. ඒ නිසා EPF / ETF  සම්බන්ධයෙන් මවන කතා දේශපාලන කතා පමණයි.   කතා මවන අය සතුව වැඩපිළිවෙළක් නැහැ.

සේවක අර්ථ සාධක අරමුදල අයිති වන මහා බැංකුව ස්වාධීන ආයතනයක් නිසා එයට කිසිදු හානියක් සිදු නොවන බව විශ්වාසයෙන් පැවසිය හැකියි. ඒ වගේම අරමුදල සම්බන්ධව කිසිදු තීරණයක් කම්කරු අමාත්‍යාංශය හරහා ගැනෙන්නේ නැති බව ද අප වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.

මීට අමතරව විගමනික ශ්‍රමික ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරමින් ඩිජිටල් දත්ත පද්ධතියක් ලබන වසරේ මුල සිට ක්‍රියාත්මක කිරීමට ද අප බලාපොරොත්තු වනවා. 

ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවේ සියලූ දත්ත පද්ධතීන් ඩිජිටල්කරණය සදහා සියලූ වැඩ කටයුතු මේ වන විට සූදානම්. එමගින් E වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්  හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අය අද (01) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවන ලදී.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවය.

මේ ආකාරයෙන්  නීති විරෝධී ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටහැනි  ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ ටොයොටා වර්ගයේ ජීප් රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුලි 01 ප.ව.3.52 )

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

රටවිරුවන්ගේ දරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

By

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.

2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු.25,000.00 ක මුදලක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු.40,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.

2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙකු සඳහා රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා ඇත.

Continue Reading

පුවත්

දූෂණ විරෝධී යාන්ත්‍රණය සවිමත් කිරීමට ජපානයෙන් ඇ.ඩොලර් මිලියන 2.5ක්

Published

on

By

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

දුෂණ විරෝධී යාන්ත්‍රණය ස්ථාපිත කිරීම තුළින් දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළව මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සදහා වු ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio ISOMATA මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය අතර අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂන නානායක්කාර ඉදිරියේදී  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී අද ( 01) පෙරවරුවේ සිදු විය.

රාජ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය හා ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා පාලනයේ සහ ව්‍යාපාර භාවිතයන්හි විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, දුෂණයට අදාළ විමර්ශන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, කොටස්කරුවන් සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නඩු පැවරීමේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව ඵලදායි ලෙස සවිබල ගැන්වීම සහ සමාජ වගවීම වැඩිදියුණු කිරීමට පුරවැසියන් බල ගැන්වීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කරනු ලබයි.

තරුණ පිරිස් මාධ්‍යවේදීන් සහ ළමුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම අපේක්ෂා කරනු ලබන අතර, දුෂණයට එරෙහිව අඛණ්ඩව සහ ක්‍රියාකාරීව දායකවීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved