Connect with us

පුවත්

ETI දේපල විකුණා ඇත්තේ නීතියට පිටින්: ස්වර්ණවාහිනී ඩීල් එකත් ප්‍රශ්නගතයි

Published

on

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් (ETI) ආයතනයේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම (PCoI) විසින් එම දේපළ නීති විරෝධී ලෙස විකුණා ඇති බවට ‌හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.

එම දේපළ විකිණීමේදී මුදල් විශුද්ධිකරණය සිදුවී ඇති බවද අනාවරණය වී ඇති බව පැව​සේ.

එම දේපළ රජයට පවරාගෙන අපරාධ නීතිය යටතේ එදිරිසිංහ පවුලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවද කොමිසම වැඩිදුරටත් පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ETI හි තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට මහ බැංකුවේ මැදිහත්වීමෙන් එම සමූහය සතු දේපළ විකිණීමේ දී අක්‍රමිකතා සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජනවාරි මාසයේදී මේ කොමිෂන් සභාව පත්කරනු ලැබීය.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිත්වය දරණු ලබන අතර, විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩී.එම්. ගුණසේකර යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

මේ අතර, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය බෙන් හෝල්ඩිංග්ස් ඇතුළු සමාගම් කිහිපයකට විකිණීම ශ්‍රී ලංකා නීතියට පටහැනිද යන්න සොයා බැලීම ද මේ කොමිසමට පවරා තිබේ.

එසේම, කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වේ.

ස්වර්ණවාහිනිය මිලදී ගත් අවස්ථාවේ බෙන් හෝල්ඩිංග්ස් හි ප්‍රධානීන් ලෙස කටයුතු කළ පිරිස….

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් !

මේ අතර, ඊඒපී ව්‍යාපාර සමූහය, මූල්‍ය අර්බුදයකට මුහුණ පා තිබියදී ඔවුන් සතු මෙරට ප්‍ර‍මුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන ‘ස්වර්ණවාහිනී’ මාධ්‍ය ජාලය ඇතුළු වත්කම් වලින් කොටසක් මිලදී ගත් විදේශීය සමාගමේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් බව රාජ්‍ය බුද්ධි අංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් 2019 ‌නොවැම්බර් 15 වැනිදා MOD / TEC / 01 / MGMR Network / 2019 (04) යන ලිපි අනු අංකය මගින් මේ බැව් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා තිබේ. 

ඊඒපී ව්‍යාපාර සමූහයේ වත්කම්වලින් කොටසක් මෙසේ මිලදී ගත්තේ බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (Ben Holdings Pvt) විසිනි.

මේ වන විට අදාළ සමාගම ලංකාවේ නීති රීති ද උල්ලංඝනය කරමින් ස්වර්ණවාහිනියේ 100%ක හිමිකාරිත්වය වක්‍රාකාරයෙන් ලබාගෙන ඇති බව පැවසේ.

බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික  (Ben Holdings Pvt) සමාගමේ එල්.ටී.ටී.ඊ.යට සෘජු සම්බන්ධකම් ඇති පුද්ගලයන් තිදෙනෙකු සිටින බවට හෙළිවූයේ මේ සමාගම විසින් MGMR Networks (Pvt) Ltd වෙත අයත් මැක්ස් රූපවාහිනී (MGM Networks) ආයතනය මිලදී ගැනීමට කටයුතු කිරීම නිසාය.

එහිදී අදාළ රූපවාහිනී නාලිකාව මිලදී ගැනීමට පෙර එම මිලදී ගැනීම සිදු කරනු ලබන සමාගමේ සිටින අධ්‍යක්ෂවරුන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශන සහතිකයක් ගතයුතු අතර අදාළ නිෂ්කාශන සහතිකය ලබා ගැනීමට යාමේදී මේ තොරතුරු හෙළිදරව් වී තිබේ.

කෙසේවුවද, ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනය මිලදී ගැනීමේදී අදාළ අධ්‍යක්ෂවරුට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශන සහතික ගැනීමට අවශ්‍යවී නොමැත.

ඒ අදාළ රූපවාහිනී නාලිකාව සතු බලපත්‍රය පැරණි එකක් වීම නිසාය.

ඊඒපී ව්‍යාපාර සමූහයට මුදල් යොදවන ලද බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික (Ben Holdings Pvt) සමාගම, බ්ලූ සමිට් කැපිටල් (Blue Summit Capital) හා ඇලෙක්ස් ලොවෙල් යන සියලුම පාර්ශවලට මුදල් ලබාදී ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයකු වන ශ්‍රී ලංකාවේ මුලතිව් හි ඉපදී පසුව ප්‍ර‍ංශයට ගොස් කෝටිපතියකු බවට පත්වූ අලිරාජ් සුභාෂ්කරන් නැමැත්තා විසිනි.

ඔහු බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හා හිටපු අගමැති ජෝන් මේජර්ගේ ප්‍ර‍බල මූල්‍ය ආධාරකරුවකු බවද පැවසේ.

අදාළ තත්ත්වය මත ඊඒපී ව්‍යාපාරය රාජසන්තකවීමේ අවදානමක් ඇතැයි ද මේ අතර ශ්‍රී ලංකා මිරර් මීට පෙර වාර්තා කළේය.

මේ අතර මේ තොරතුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේද පෝස්ටුවක් සැරිසරමින් තිබේ.

එය පහත දැක්වේ

දීකිරට බලල්ලුත් සාක්කිලු

මේ අතර, පසුගියදා ඓතිහාසික මාතර ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේදී ලයිකා සමූහ ව්‍යාපාරයේ සභාපති සුභාෂ්කරන් අලිරාජා මහතාට මාහාසංඝරත්නය විසින් විශ්ව කීර්ති, ශ්‍රී අභිමාන, ශ්‍රිජනරංජන දේශාභිමාන්‍ය සම්මානය ප්‍රධානය කිරීම ද විශ‌ේෂිතය.

කුසලතා පිරි සේවය, සහජ කුසලතා සහ කුසල් හැසිරීම පදනම් කරගෙන මේ සම්මානය පුදනු ලබන බව පැවසේ.

සබැඳි පුවත්:

ලයිකා හා ප්‍රසාද්‌‌ගේ ඩීල් එක අගමැති කැබිනට්ටුවේදී කුඩුකරයි

රූපවාහිනියේ මනි ලොන්ඩ්‍රියක් දාලා?: කාටද මේ බොරු කරන්නේ

බද්දට දුන්නෙ අයි නාලිකාවේ ගුවන්කාලය – බන්දුල (වීඩියෝ)

ටෙලිකොම් ගන්න ඉන්න අලි රාජා ජනපතිව ලන්ඩනයේදී මුණගැහෙයි!

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading

තවත් බොහෝ දේ

ජගත් පරිසර දිනය අද යි

Published

on

By

ලෝක පරිසර දිනය (World Environment Day)  අදට (ජූනි 05) යෙදි තිබේ.

1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී එළඹුණු එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා “ලෝක පරිසර දිනය ” ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

අධික ජනගහණය, පරිසර දූෂණය, වන විනාශය, ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික ගැටලුවලට සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටි.

මේ වන විට ලෝකය පුරා මතුව ඇති ආහාර සහ බලශක්ති අර්බුදය හමුවේ පරිසරය පිළිබඳ සෑම දෙනෙකුගේම අවධානය යොමුවීම දැඩි අවශ්‍යතාවක්ව පවති.

2025 වසරේදී “Ending plastic pollution ” ප්ලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය සැමරිම සිදුවේ.

මෙම ගෝලීය තේමාව යටතේ ගෝලීය වශයෙන් ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණයට අවසන් විසදුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට අපේක්ෂිතය.

සීඝ්‍රයෙන් ඉහළ යන ප්ලාස්ටික් භාවිතය තිරසාර සංවර්ධනයේ පාරිසරික, සමාජීය, ආර්ථික සහ සෞඛ්‍ය මානයන් කෙරෙහි අහිත කර ලෙස බලපාන බරපතල ගෝලීය පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. පසුගිය දශක කිහිපය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය වශයෙන් දැනට එය වසරකට ටොන් මිලියන 430 ක් පමණ වේ. වසර 2040 වන විට මෙම අගය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජගත් පරිසර දින ජාතික උත්සවයට සමගාමීව ” ජාතික පරිසර සතියක් ” ප්‍රකාශයට පත් කිරීම සිදුවූ අතර ඒ අනුව මැයි මස 30 දින  සිට ජූනි 05 දින දක්වා සතිය ” ජාතික පරිසර සතිය ”  ක්‍රියාත්මක විය.

මැයි 30 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, මැයි 31 වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය, ජුනි 01 පරිසර පවිත්‍රතාවය පිළිබද දැනුවත් කිරීමේ දිනය, ජුනි 02 ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය, ජුනි 03 ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය, ජුනි 04 වෙරළ කළාප පවිත්‍ර කිරීමේ දිනය ලෙස ක්‍රියාත්මක වූ මෙම පරිසර සතිය තුල අද දිනය (ජුනි 05 )
රුක් රෝපණය හා ජගත් පරිසර දින සැමරුම  වෙනුවෙන් වෙන්කර තිබේ.

මෙම පරිසර සතිය තුල දී පරිසරය සංරක්ෂණය සහ පාරිසරික සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීම සිදු වූ අතර මෙරටට පමණක් ආවේණික මත්ස්‍යෙයකු වන “බන්දුල පෙතියා” සංරක්ෂණය සඳහා එම මත්ස්‍යයන් ජීවත්වන ගලපිටමඩ ප්‍රදේශය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, නව රක්ෂිත වනාන්තර 5ක් නම් කර ගැසට් කිරීම ඇතුළු පරිසර හිතකාමී සැලසුම් ගණනාවක් ඒ අතර විය.

අද දිනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ජගත් පරිසර  දින ජාතික සැමරුම ජනාධිපති  අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30 ට කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

නාවික හමුදාව සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ

Published

on

By

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රාවක් වැටලීමට ගිය නාවික හමුදා යාත්‍රාවකට තවත් යාත්‍රා කිහිපයකින් පැමිණි කිසියම් සංවිධානාත්මක පිරිසක් පහරදීමට තැත්කිරීමේදී සිදුවූ ගිනිඅවි ක්‍රියාත්මක වීමකින් කුච්චවේලි ප්‍රදේශයේ ධීවරයෙකු තුවාල ලබා තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ධීවරයා සහ පහරකෑමට ලක්වූ නාවික හමුදාවේ දෙදෙනෙක් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භකර ඇතැයි නාවික හමුදාව පවසයි.

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් හා යාත්‍රා වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මෙරට ජල තීරය ආවරණය වන පරිදි නිරන්තරයෙන් සිදුකරනු ලබයි.

පසුගිය දා (03) රාත්‍රී 7ත් – 7.30ත් අතර කාලයේ නාවික හමුදා යාත්‍රාවක් ත්‍රිකුණාමලය, කුච්චවේලි මුහුදු තීරයේ එවැනිම විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ, පොඩුකට්ටුව – බෝඩර් පොයින්ට් නමින් හඳුන්වන දිවයිනට ආසන්න දේශීය ජල තීරයේය.

එම අවස්ථාවේ ඩිංගි බෝට්ටුවක සිටි ධීවරයින් 5 දෙනෙක් එහි නීතිවිරෝධී ලෙස ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිට ඇති අතර නාවික හමුදා යාත්‍රාව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ගොඩබිම දෙසට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත්, එම අවස්ථාවේ සංවිධානාත්මක පිරිස් රැගත් යාත්‍රා කිහිපයක් නාවික හමුදා යාත්‍රාව හඹාවිත් ගැටීමට සලස්වා අත්අඩංගුවටගත් ධීවරයින් පිරිස මුදාගෙන පලායාමට තැත්කළ නාවික හමුදාව පැවසීය.

එහිදී නාවික යාත්‍රාවේ සිටි නාවික හමුදා පුද්ගලයින් ඔවුන්ට දැනුම්දී ඇත්තේ රාජකාරියට බාධා නොකොට සිය කටයුතු නීත්‍යානුකූලව සිදුකිරීමට ඉඩ ලබාදෙන ලෙසය.

එහෙත්, පැමිණි සංවිධානාත්මක පිරිස තවදුරටත් කළහකාරී ලෙස හැසිරී යාත්‍රාව පැහැරගැනීමට උත්සාහකර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇත.

තවදුරටත් නියෝග නොතැකූ සංවිධානාත්මක පිරිස නාවික හමුදා පුද්ගලයින්ට පහරදී පොරබැදීමක් ද සිදුකර ඇති නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී සංවිධානාත්මක පිරිසේ අයෙක්, නාවිකයෙකුගේ රාජකාරී ගිනිඅවිය උදුරාගැනීමට යාමේදී එය ක්‍රියාත්මකවී ඇති අතර ඉන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇත.

සිද්ධියෙන් පසු සංවිධානාත්මක පිරිස පලාගොස් ඇති අතර නාවික පිරිස සිය භාරයට ගත් සැකකාර ධීවරයන් සමඟ ගොඩබිමට පැමිණ තිබුණි.

තුවාල ලැබූ 24 හැවිරිදි ධීවරයා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු ඇතුළු ධීවරයින් 5 දෙනා කුච්චවේලි – ජාවානගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ, යාත්‍රාව තුළ සිදුවූ පහරදීමේදී තුවාල ලැබූ නාවික පුද්ගලයින් දෙදෙනෙකු ද මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

කෙසේවෙතත්, මෙහිදී සිදුව ඇති වෙඩිවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඊයේ පෙරවරුවේ කුච්චවේලි ප්‍රදේශයේ උද්ඝෝෂණයක් ද පැවැත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව මූලික පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භ කළ බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තයේ කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් මේ වසරේ මේ දක්වා ධීවර යාත්‍රා 117ක් සහ පුද්ගලයින් 315 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.

පසුගිය 03 වැනිදා  රාත්‍රීයේ පමණක් සිදුකළ එවැනි මෙහෙයුම්වලින් නීතිවිරෝධී යාත්‍රා 11ක් සමඟ පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවටගත් බව ද නාවික හමුදාව පවසයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved