Connect with us

පුවත්

ටයිල් ඇතුළු නාන කාමර උපාංග වල මිල ගැන මුදල් කාරක සභාවේ කතාබහක්

Published

on

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සඳහන් 2296/30 ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබා දීමට ඒ පිළිබඳව තවදුරටත් විශ්ලේෂණාත්මක සාකච්ඡා වටයන් පැවැත්විය යුතු බවත්, මේ සඳහා අනුමතිය ලබා දීම මගින් පාරිභෝගිකයාට සාධාරණයක් සිදුවනවාද යන්න පිළිබඳව සැලකිල්ලට බඳුන් කළ යුතු බවත් රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අවධානයට ලක් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ  (01) රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම ගැසට් පත්‍රය මගින් උක්කුටික පෝච්චි (Squatting pans), සොරොව් බේසම් (sink), ඇතුළු නාන කාමර උපාංගයන් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාළව මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබිණි. තවද,  එම ගැසට් පත්‍රය මගින්ම  ටයිල් ආනයනය තහනම් කිරීම හරහා වෙළඳපොළ  තුළ ඇතිව තිබෙන ඒකාධිකාරිය හා ආනයනය නවතා තිබෙන වාතාවරණයක් තුළ ටයිල් ඇතුළු නාන කාමර උපාංගයන්හී මිළ පාරිභෝගිකයාට අසාධාරණයක්  වන පරිදි ඉහළ යාම මෙන්ම  ඉල්ලුමට අනුව සැපයුම නොමැති වීම පිළිබඳවද කමිටු සාමාජිකයන්ගේ අවධානයට ලක් විය. ඒ අනුව, මේ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යංශයට කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

2298/55 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ සදහන් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද මෙහිදී සළකා බැලුන අතර ඊට අදාළ ගැසට් පත්‍රයට‍ අනුමතිය ලබා දීම සිදුවිය. මෙම ගැසට් පත්‍රය මගින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වල වටිනාකම මත පදනම්ව ඔවුන්ට විද්‍යුත් මෝටර් වාහන ආනයන කිරීම සඳහා අවසර ලබා දීම සිදුවේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් 2297/79 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ සදහන් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පිලිබඳවද මෙහිදී  සලකා බලන ලදී. මෙමගින් අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා වූ කාලය දීර්ඝ කිරීම සිදුවේ.

මෙහිදී, පසු ගිය වසර දෙක තුළ සහල්, බඩ ඉරිඟු ඇතුලු අනෙකුත්  ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සඳහා ප්‍රමාණයන් තීරණය කළ අකාරය පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය.

තවද ප්‍රමාණයට වඩා සහල් ගෙන්වා එය මිශ්‍ර කොට විකිණීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් අවධානය යොමු කරන ලද අතර, සත්ත්ව අහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය ගැටලුකාරී තත්ත්වයක් වන බැවින් බිත්තර සහ කුකුළු මස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් බිත්තර සහ කුකුළු මස් මිළ ඉහළ යාම පිළිබඳවද සාකච්ඡා විය.

මෙම තත්වයන් පිළිබඳ විමසීමේදී, ඒ හා සම්බන්ධ කිසිඳු  දත්තයන් මත පදනම් වූ තොරතුරු නොමැති වීම පිළිබඳව කමිටුව සිය නොසතුට පල කළ අතර මේ සම්බන්ධයෙන් පැහැදිලි දත්ත ඇතුලත් වාර්තාවක් මාස 02ක කාලයක් තුළ කමිටුවට ඉදිරිපත් කරන ලෙස අදාළ බලධාරීන් හට නිර්දේශ කරන ලදී.

තවද, 2023 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත රජයේ මුදල් කාරක සභාවේදී සාකච්ඡා කරනු ලැබූ අතර මෙවර ඉදිරිපත් කරනු ලබන ඇස්තමේන්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කෙතරම් සුභවාදී දැක්මකින් යුක්ත ද යන්න පිළිබඳව කමිටු සමාජිකයන් ප්‍රශ්න කළහ. මෙහිදී කමිටුව විසින් මෙවර අයවැය තුළ අඩු අදායම්ලාභින්  පිළිබඳව වැඩි අවධානයක් යොමු විය යුතු බවට සාකච්ඡා විය.

මෙම රජයේ මුදල් කාරක සභා රැස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය – ශෙහාන් සේමසිංහ මහතා, රාජ්‍ය අමාත්‍ය – ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා , චන්දිම වීරක්කොඩි මහතා, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, මධුර විතානගේ මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීහුද එක්ව සිටියහ.

පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

By

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

Continue Reading

පුවත්

DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් 

Published

on

By

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු විදෙස් පාඨමාලාවන් සඳහා එකවර දිවයිනෙන් බැහැරව ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අතරින් අට දෙනකුම ගොස් ඇත්තේ ඉන්දියාවේ ලබන 12 වැනිදා තෙක් පැවැත්වෙන පාඨමාලාවක් සඳහාය.

මෙම නිලධාරීන්ගේ රාජකාරී ආවරණය කිරීම සඳහා වෙනත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් යෙදවීමට ද පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

මෙලෙස දිවයිනෙන් බැහැර වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධනපාල අබේවික්‍රම, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සුජිත් වෙදමුල්ල, නුවන් මෙන්ඩිස්, උදිත් ලියනගේ, ප්‍රදීප් කළුපහන, සරත් කුමාර, ඉන්දික හපුගොඩ, එච්.සී.ඒ. පුෂ්පකුමාර යන නිලධාරීන් ය.

Continue Reading

ඡායාරූප සටහන

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ශුද්ධ වූ පූජකවරයේ ස්වර්ණ ජයන්ති උපහාර උලෙළ (ඡායා)

Published

on

By

පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි.

සමාජයේ යහපැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන උන්වහන්සේ, විශාල මෙහෙයක් ඉටු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියකුද වන  බව ජනාධිපතිවරයා පැවසීය.

කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එය රජය, රජයේ ඇතුළාන්තයෙන් පරීක්ෂණයට භාජනය විය යුතු අභියෝගයක් බව පැවසු ජනාධිපතිවරයා කෙතරම් දුෂ්කර වුවද මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුවිය යුතු බවද අවධාරණය කළේය.

මෙහිදී, සභාව අමතමින් සිය 50 වසරක අත්දැකීම් සිහිපත් කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වසර 75ක ඒකාධිපති වියරුව අවසන් කිරීමට ජනපතිවරයා සමත් වීම පිළිබඳව ඇගැයීමට ලක් කළහ. එසේම, මෙරට විවිධ ජාතීන් අතර වෛරය වැපිරූ දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමට හැකිවීම පිළිබඳ ප්‍රසාදය පළ කළ උන්වහන්සේ සමෘද්ධිමත් දේශයක් කරා රට මෙහෙය වීමේදී නව ප්‍රවේශයක අවශ්‍යතාවද අවධාරණය කළහ.  

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් එළිදැක්වුණු සමරු මුද්දරය සහ මුල්දින කවරයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

1947 වර්ෂයේ කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේශයේදී උපත ලද මැල්කම් රංජිත් හිමිපාණෝ, වර්ෂ 1975 ජූනි 29 වන දින ශුද්ධ වූ සය වන පාවුළු පාප් වහන්සේගේ සුරතින් වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේදී පූජක වරම් ලබා ගත්හ. අනතුරුව, වර්ෂ 1978 සිට මීසම් සහායක පියතුමකු, වැඩබලන මීසම් සේවක පියතුමකු, දේව ධර්මය පිළිබඳ කථිකාචාර්යවරයකු මෙන්ම, දේව ධර්ම නිකේතන මහාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති උන් වහන්සේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ඉන්දුනිසීයානු බස ආදී භාෂා රැසක ප්‍රවීණතාව ලබා සිටිති.

1991 වර්ෂයේදී එවකට අගරදගුරුවරයා වූ අතිඋතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් තේවත්තේ ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකාවේදී කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුවරයකු ලෙස එතුමාගේ පදවි ප්‍රාප්ත වීම සිදු විය.

අනතුරුව, වර්ෂ 2009 ජූනි මස 16 වන දින කොළඹ පදවියේ අගරදගුරුවරයා ලෙස පත් වූ මැල්කම් රංජිත් හිමිපාණෝ, එයින් වසරකට පසු, වර්ෂ 2010 නොවැම්බර් 20 දින ඉතාලියේ සාන්ත ලෝරන්ස් බැසිලිකාවේදී කාදිනල්වරයෙකු ලෙස පත්වීම් ලදහ. ඒ අනුව, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ශ්‍රී ලංකාවේ කාදිනල් තනතුර දැරීමේ ආශීර්වාදය ලත් දෙවන පියතුමා වෙති. උන් වහන්සේ ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද තනතුරු රැසක් හෙබ වූ අතර, ජාත්‍යන්තර රැස්වීම් රැසක සභාපති ධුරයද දැරූහ.

ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලද එතුමාණෝ, ඇමරිකා එක්සත් ජනපදයේ තෝමස් ඇක්වයිනාස් විද්‍යාලයෙන් ආගමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ තෝමස් ඇක්වයිනාස් පදක්කමද, 2008 වසරේ සංස්කෘතික ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සඳහා ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද, 7 වන  Giuseppe Sciacca ජාත්‍යන්තර සම්මානයද ලබා ගත්හ. ලේඛකයකුද වන එතුමා සඟරා සහ පුවත්පත් සඳහාද ලිපි ගණනාවක් සම්පාදනය කර තිබේ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ සහ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සුබපැතුම් එක් කළහ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, සර්වාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා, වතිකාන අපෝස්තලික මෙහෙයුම් ප්‍රධානී මොන්සිග්නෝර් රොබර්ටෝ ලුකිනි, කොළඹ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහායක රදගුරු ඇන්තනී ජයකොඩි යන රදගුරුතුමන් ඇතුළු කතෝලික පියතුමන්ලා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මැතිඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, තානාපතිවරුන් ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved