Connect with us

පුවත්

GMOA එකෙන් රජයට රතු එළියක්

Published

on

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ, සෞඛ්‍ය පද්ධතිය තුළ සහ ඉන් පරිබාහිර පාර්ශ්වයන්ගේ මැදිහත් වීමෙන් වෛද්‍යවරුන් පීඩාවට සහ අධෛර්‍යයට පත් කිරීමේ අරමුණින් අඛණ්ඩව ක්‍රියාත්මක වන පටු න්‍යායය පත්‍ර සහ වැඩපිළිවෙළ වැළැක්වීමට දේශපාලන නායකත්වය, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගකිවයුත්තන් සාධනීය මැදිහත් වීම් නොකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවය.

වෘත්තීය සමිති නායකයින්ට මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට ආයතන සංග්‍රහය තුළ අඩංගු නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ඉතිහාසය පුරාම මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගැටලු සහ විෂමාචාර පිළිබඳව ජනතාව ඇතුළු පාර්ශ්ව දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබෙන බව එම නිවේදනයේ දැක්වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ, වැරදිකරුවන්ට දඬුවම් කිරීම පසෙකලා වංචා, දූෂණ සහ වැරදි පිළිබඳ ව තොරතුරු සපයන්නන් නිහඬ කිරීම ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ ව ජනතාවට තොරතුරු හෙළි කරන වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව පිළිගත නොහැකි ලෙස අසාධාරණය සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින බවටය.

එබැවින් අසාධාරණ සහ පක්ෂග්‍රාහී විනය ක්‍රියාමාර්ග ගැනීම නවත්තන්නේ නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරියේ දී මීට වඩා තීව්‍ර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ගැනීමට යොමු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඡායාරූප සටහන

ජනපති මෙරට වතිකානු තානාපති කාර්යාලයට

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමිපාණන් විසින් පිළිගනු ලැබිණි.

අනතුරුව, උන්වහන්සේ සමඟ කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ  සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර සිටියේය.

Continue Reading

පුවත්

ඡන්ද කාඩ් 85ක් එක්ක අත්අඩංගුවට ගත් අපේක්ෂිකාවට ඇප

Published

on

By

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සර්වජන බලයේ ලැයිස්තු අපේක්ෂිකාවක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 85ක් සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අදාළ අපේක්ෂිකාව පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

රත්මල්යාය ප්‍රදේශයේ ලිපි බෙදාහරින තැපැල්කරු විසින් අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින ලෙස තමා සන්තකයේ තබාගිය බව ඇය පවසා තිබේ.

ගම්වාසීන් පිරිසක් අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම හේතුවෙන් තැපැල්කරුට එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට නොහැකි වීම හේතුවෙන් එලෙස ඒවා තමා  සන්තකයේ තබා ගිය බව ඇය අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් තමා මීට පෙරද තැපැල්කරු විසින් ලබාදෙන තැපැල්පත් ද ගම්වාසීන් වෙත බෙදාදෙන බව ඇය පවසා තිබේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර අපේක්ෂිකාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු 3 වන දින සිට අද (24) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 25කි.

ඊයේ දිනය තුළ ආධාරකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත ආධාරකරුවන් ගණන 98කි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (23) දිනය තුළ පමණක් මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 3ක් ලැබී ඇති බවය.

ඒ අනුව ලැබී ඇති සමස්ත අපරාධමය පැමිණිලි ගණන 61කි.ඊයේ දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 20ක් ලැබී අතර සමස්ත පැමිණිලි ගණන 222කි.

පසුගිය මාර්තු 3 වන දින සිට අද දක්වා වාහන 23ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Continue Reading

පුවත්

පුංචි ඡන්දෙට මැයි 5 සහ 6 පාසල් නිවාඩු

Published

on

By

මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මැයි මස 7වනදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය. 

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.

ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේදී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද වැඩි දුරටත් සඳහන් ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved