ලෝකයේ ඕනෑම රජයක් තමන්ගේ ආදායම් ලබාගන්නා ප්‍රධාන මාර්ගය හැටියට බදු යොදා ගන්නා බවත් අපේ රටේ බදු සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත් සහ ඒ මගින් ලබාගන්නා ආදායම්, වියදම් පිළිබඳව කතා කරද්දී බොහෝ පරෙස්සම් වෙනවා යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා පවසයි.
මහාචර්යවරයා පෙන්වාදන්නේ නව බදු පැනවීම රැකියා නියුක්තියට සහ වියුක්තියටත් බලපාන බවත් ව්‍යාපාරයක ආදායම් සහ වියදම් කෙරෙහිත් රටේ පොදු ජනතාවගේ පරිභෝජනය කෙරෙහිත් බලපාන බවයි.
වැඩිදුරටත් අදහස්දක්වමින් ඔහු මෙසේද පවසා තිබේ.
ආණ්ඩුව ලෝකයට කියන්න උත්සාහ කරන්නේ පහළ මැදි ආදායම් තත්වයේ සිට අඩු ආදායම් තත්වයට පහත හෙළන්න කියලයි. ලෝකය හමුවේ අපිව දුප්පත් කියන්න උත්සාහ කරන ආණ්ඩුවම ලංකාව තුළ කටයුතු කරන්නේ දුප්පතුන්ගෙන් උපරිම බදු ලබාගන්නයි. ආර්ථිකය මෙහෙයවීමේදී සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධීතාවයක් මේ ලෙස ප්‍රදර්ශනය වෙනවා. අපි දුප්පත් නම්, ආණ්ඩුව කළ යුත්තේ ආර්ථිකය ඉහළ නංවන්න ක්‍රියාශීලීව කටයුතු කිරීමයි. නව ආයෝජන අවස්ථා උදාකර දීමයි. නමුත් ව්‍යාපාර අලුතින් පටන් ගැනීමට ලබාදී තිබූ අවස්ථාවන් පවා අහිමිකරමින් බදු පනවා තිබෙනවා. ධීවර කර්මාන්තයට සම්බන්ධ බෝට්ටු නිෂ්පාදනය ස්ථාවර වනතුරු යම් බදු සහන කාලයක් ලබාදීම උදාහරණයක්. නමුත් අද ඒ ව්‍යාපාරයත් පටන් ගත් වහාම බදු ගෙවිය යුතුයි කියන තැනට ඇදදමා තිබෙනවා. මේ නිසා නව ව්‍යාපාර පටන් ගැනීම අධෛර්යමත් කරනවා. පසුගිය කාලය පුරාම නව ආදායම් සහ අලුත් ව්‍යාපාර ආරම්භ කර නොගත් මේ ආර්ථිකය ඉදිරියේදීත් හකුළාදමා තිබෙනවා.
ආර්ථිකය ඍණ අගයක තිබීම තව තවත් කඩා වැටෙන්න, ආර්ථිකය තව තවත් හකුළුවාලන්න හේතු වෙනවා. මේක හරියට ජනතාවගේ බෙල්ල මිරිකාගෙන හුස්ම ගන්න කියනවා වගේ වැඩක්. ඇත්තටම ආණ්ඩුව කළ යුතුව තිබුණේ නව ආදායම් මාර්ග ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමයි. රජයේ ආදායම් වැඩිකර ගැනීම වගේම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ වියදම් අවම කර ගැනීමත් කළ යුතුයි. නමුත් ආණ්ඩුව අවධානය යොමු කර තිබෙන්නේ ආදායම් වැඩිකර ගැනීම කෙරෙහි පමණමයි. වියදම ගැන කිසිසේත්ම අවධානය යොමු කර නැහැ. වියදම් කළමනාකරණයේදී ඉහළ සිට ආදර්ශයන් දිය යුතුව තිබුණා. නමුත් තවමත් වංචා, දූෂණ සිදුකරන අතර, වියදම් අඩුකර ගැනීම කෙරෙහි කිසිම අවධානයක් නොදැක්වීම බරපතළ ප්‍රශ්නයක්. බදු ගෙවිය හැකි අය තව තවත් අමාරුවේ දැමීම පමණක් සිදුකර තිබෙනවා. මේ සියලු දේවලට හේතුව අහිංසක ජනතාව නොවෙයි. ප්‍රශ්නය ඇති කළ පුද්ගලයන් විසින් ප්‍රශ්නයේ බර නැවතත් ජනතාව මත හෙළා තිබෙනවා. මහජන ධනය වංචා, දූෂණ සිදුකළ අය බේරාගනිමින් සියලු බර ජනතාව මත පටවා ඉදිරි කාලය කෙසේ හෝ බලයේ රැඳී සිටීමට උත්සාහ කරන බව අපට පෙනෙනවා.