Connect with us

පුවත්

ගුණාත්මක නැති NVQ පාඨමාලා පැවැත්වූ ආයතන 81ක් අත්හිටුවලා!

Published

on

ජාතික හා ජාත්‍යන්තර ‍රැකියා වෙළදපොළ ඉලක්ක කරගනිමින් සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශී කොට පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම කඩිනම් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) තෘතීක කාර්මික අධ්‍යාපන ආයතනවලට අදාළ අනුකමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙන ලදී.

ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින බැවින් ගුණාත්මක බවින් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම සදහා සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අනුකමිටුව අවධාරණය කරන ලදී.

2023 මැයි මස 16 වැනිදා පැවති පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සදහා පත්කරන ලද අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) එම අනුකමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදීම සිදුවිය.

අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම රැස්වීමට කැදවා තිබිණි.

ඇතැම් වෘත්තීය පුහුණු ආයතනවල කාර්ය සහ අරමුණු ඒකාකාරී වීම ගැටලුවක් බැවින් යම් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය. සාපෙළ සහ උසස් පෙළ විභාග අවසන් කළ සිසුන් සම්බන්ධ කරගනිමින් මේ සම්බන්ධයෙන් නව වැඩපිළිටවලක් ආරම්භ කර ඇති බවත් මෙහි නියමු ව්‍යාපෘතියක් සැප්තැම්බර් ක්‍රියාත්මක බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය. එසේම මෙවැනි ව්‍යාපෘති විවිධ රජයේ යටතේ වෙනස් නොවන ලෙස පොදු ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී.  

වෘත්තීය පුහුණු ආයතනවල ඉගැන්වීම් සිදු කරන උපදේශකවරුන්ගේ වැටුප්තල පහළ තත්ත්වයක තිබීම ඇතුළු ගැටලු පිළිබදව මෙහිදී අවධානය යොමු විය. මේ අනුව සිසුන්ගෙන් අයකර ගනු ලබන සාධාරණ ගාස්තු සහ උපදේශකවරුන්ගේ කාර්යසාධනය පදනම් කරගනිමින් මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් මාසයක් තුළ වාර්තා කරන ලෙසත් අනුකමිටුව  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මෙම ආයතන සියල්ල සම්බන්ධ කරගනිමින් ජාතික තොරතුරු පද්ධතියක් සකස් කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සතුව දැනටමත් දත්ත පද්ධතියක් පැවතියද දැනට ඊට සම්බන්ධ නොවන  විභාග දෙපාර්තමේන්තුව ආදී ආයතන ඒකාබද්ධ කොට එය වැඩිදියුණු කරන ලෙසද මෙහිදී නිර්දේශ කරන ලදී.

එසේම ව්‍යාජ NVQ සහතික හදුනාගෙන වැරදිකරුවන්ට දඩුවම් කිරීමේ අවශ්‍යතාවද කමිටුව පෙන්වා දුන්‍නේය. QR කේතයන් මගින් මෙම සහතික හදුනාගත හැකිවුවද නෛතික ක්‍රියාමාර්ග ගැනීම සදහා පවතින අඩුලුහුඩුකම් සම්පූර්ණ කිරීම සදහා පනත සංශෝධන කිරීම කඩිනම් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබාදීම සිදුකරන ලදී.

රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රණය තුළ රැකියා තනතුරු නාමය ජාත්‍යන්තර හා දේශීයව පිළිගත් නාමයන් බව පත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව පෙන්වා දෙන ලදී. මේ සම්බන්ධව කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දීම සිදුවිය.

NVQ සහතික ලබා දෙන පාඨමාලා නිසිපරිදී නියාමනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. මුල්‍ය ලාභය පමණක් සලකා ගුණාත්මක නොවන පාඨමාලා පවත්වන ලද ආයතන 81 ක් මේවන විට අත්හිටුවා ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ. නමුත් ඉන් ඔබ්බට ගොස් පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කිරීම හා එම ආයතන ම්‍රද්‍රා තැබීමට අදාළව නෛතික පියවර සහිත විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, මේජර් සුදර්ශන දෙණිපිටිය සහ සංජීව එදිරිමාන්න යන මහත්වරු මෙම අනුකමිටු රැස්වීමට සහභාගී වූහ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved