Connect with us

පුවත්

IMF ඊළඟ වාරිකයට ලංකාවට කාලයක් බලා ඉන්න වේවි 

Published

on

ප්‍රධාන කොන්දේසි සපුරා නොමැති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි එම අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඊට අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවම වශයෙන් තවත් මාස කිහිපයක්වත් ගතවනු ඇතැයිද ඔහු එහිදී සඳහන් කර ඇත.

පළමුව, රටට පිරිවැය මත තීරණය වන විදුලි ගාස්තුවක් හඳුන්වා දිය යුතු බවත්, ස්වයංක්‍රීය විදුලි මිල කරණ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වන බවට සහතික විය යුතු බවද ඔහු අවධාරණය කර තිබේ.

දෙවනුව, බහුපාර්ශ්වික හවුල්කරුවන් කැපවී සිටින බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා ඇති බව තහවුරු කිරීම සඳහා රජය මූල්‍ය සහතික සමාලෝචනයක් සම්පූර්ණ කළ යුතු බවද මෙරට මෙහෙයුම් ප්‍රධානියා කියා සිටී.

ජාත්‍යන්තර අරමුදල විසින් විදුලි මිල ඉහළ දැමීම සඳහා දින නියමයක් නිකුත් කර නැතත්, සැබෑ විදුලි උත්පාදන පිරිවැයට ගැළපෙන පරිදි ගාස්තු කඩිනමින් සකස් කරන ලෙස රජයට නැවත නැවතත් මතක් කර දී ඇති බව ඔහු අවධාරණය කරන්නේය. දැනට පවතින මිල ක්‍රමය හුදෙක් පිරිවැය ආවරණය නොවන බවත්, ලංකා විදුලිබල මණ්ඩලය රාජ්‍ය මූල්‍යයට බරක් නොවිය යුතු බවද ඔහු අනතුරු අඟවන්නේය.

අප්‍රේල් මස අවසානය වන විට නිසි තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකාවට ව්‍යුහාත්මක සන්ධිස්ථානයක් මග හැරී ගිය බවද ඔහු පෙන්වා දෙන්නේය.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන තුරු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 344 ක පස්වන වාරිකය නිකුත් කිරීම ගැටලුවක් බවත්, එය ඩොලර් බිලියන 3 ක පැකේජයක කොටසක් බවද ඔහු සඳහන් කරන්නේය. 

මෙම නව නිකුතුව අනුමත වුවහොත් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු අරමුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1.722 ක් දක්වා ඉහළ යනු ඇතැයිද නියෝජිතවරයා සඳහන් කරන්නේය

සබැඳි පුවත්

පුවත්

නාවික හමුදාව සහ සංවිධානාත්මක කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක්

Published

on

By

ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (03) මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී නාවික හමුදා යාත්‍රාව වට කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් පැමිණ අදාළ එක් යාත්‍රාවක් පැහැරගෙන යෑමට තැත් කර ඇත.

මෙහිදී අදාළ කණ්ඩායම සහ නාවික හමුදාව අතර පොරබැදීමක් සිදුවී ඇති අතර එහිදී නාවික හමුදාව නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සාහ දරා තිබේ.

පසුව නාවික හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩිතබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබුණි.

එහිදී අදාළ කණ්ඩායම ප්‍රකෝපකාරී ලෙස හැසිරීමත් සමග එක් නාවික හමුදා සෙබෙලෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුට වෙඩිවැදී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 23 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

මේ අතර අදාළ සිද්ධිය මුල් කරගනිමින් කුච්චවේලි ප්‍රදේශයේදී ධීවරයින් උද්ඝෝෂණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු පෙරට්ටුවේදී හඳුනා නොගනී

Published

on

By

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද (04) ඉදිරිපත් කළේය.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර, ඔවුන් විසින් සැකකරු හඳුනා නොගත් බව වාර්තා වේ.

ඉන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබේ.

එහිදී සැකකරු මේ මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නියම කළේය.

එදින මෙම සැකකරු ස්කයිප් තාක්ෂණය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම විය.

Continue Reading

පුවත්

ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි

Published

on

By

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම  එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදීය.

චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල්  විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා  සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික  ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්,  ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක්  බවට පත් කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමණක් නිලධාරින් මත පැටවීම සිදු නොකරන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  විශේෂඥ දැනුම සහිත නිලධාරින් සහ දේශපාලන අධිකාරිය අතර සිදු කෙරෙන විධිමත් සාකච්ඡාවලින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව සඳහන් කළේය. ඇතැම් අත්තනෝමතික දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අසාර්ථක වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

උපායමාර්ගික වැදගත්කමින් යුත් ක්ෂේත්‍ර රජය යටතේ පවත්වාගෙන යන අතරම, රජයේ මූලික ප්‍රතිපත්ති මත පිහිටා අදාළ ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම්  වැඩසටහන, එක්සත් ජනපදයෙන් පනවා ඇති නව තීරුබදු මෙන්ම,  2027 වසරේ ඝ්Sඵ්+ සහන වැඩසටහන පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ගේ අවධානය යොමු කරන ලදී.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,  මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved