Connect with us

පුවත්

IMF ණය ගැන ආණ්ඩුව කියන්නේ බොරු – ගම්මන්පිල

Published

on

ජනවාරි මාසයේ දී අයිඑම්එෆ් ණය ලබා ගත හැකි බවටත් ඉන් පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලැබෙන බවටත් ආණ්ඩුව පවසන්නේ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (14දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

“අපේ ණය ප්‍රධාන කොටස් 4ක් තිබෙනවා.  දේශීය ණය, ද්විපාර්ශවීය ණය, බහුපාර්ශවීය ණය,  ජාත්‍යන්තර වෙළඳපොල ණය කියන්නේ ඒ හතරටයි.  ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන වලින් ගත් ණය තමයි බහුපාර්ශවීය ණය කියන්නේ.

බහුපාර්ශවීය ණය ‍ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ දක්වා කිසිම ඵලදායි සාකච්ඡාවක් පවත්වා නැහැ. සිම්බාබ්වේ වැනි රටවල් මෙම ජාත්‍යන්තර ආයතනත් එක්ක සාකච්ඡා කරලා සිය ණය ප්‍රතිව්‍යුහගත කරගෙන අවසන්.

අපි තවම ඒ ගැන සාකච්ඡා ආරම්භ කරලාවත් නෑ. ද්විපාර්ශවීය ණය කියන්නේ විවිධ රටවල් වලින් ගත් ණය.  පැරිස් ක්ලබ් කියන සංවිධානය නම් ලංකාව විසින් ණය ආපසු ගෙවීම වසර දහයකට අත්හිටුවන්න යෝජනා කරලා තිබෙනවා.

නමුත් ඒ සංවිධානයේ ඉන්නා බටහිර රටවල් අපට ණය දීලා තිබෙන්නේ සොච්චමයි. ජපානය, චීනය සහ ඉන්දියාව තමයි අපට දැවැන්ත ලෙස ණය දුන් රටවල්. මේ කිසිම රටක් සමග අවසන් එකඟතාවයකට පැමිණීමට තවමත් ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා.

වඩාත් දුෂ්කර සාකච්ඡාව තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ බැඳුම්කර හිමියන් සමගයි.  ඒ අය විවිධ ආයෝජකයින්. නැතිනම් අන් අයගේ ආයෝජන බලා ගන්නා කළමනාකරුවන්.  එතැන දහස් ගණනක් ඉන්නවා. ඒ සියළුම දෙනා එකඟ වන තුරු ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ. ලබා ගත් ණය වලින් 35%ක් කපා හරින මෙන් ආණ්ඩුව ඉල්ලා තිබෙනවා.

එයට එකඟ වෙලා තිබෙන්නේ බැඳුම්කර හිමියන්ගෙන් 40%යි. 100% එකඟ නොවී මෙම යෝජනාව ක්‍රියාත්මක කරන්න බැහැ. බොහෝවිට සියළුම දෙනා එකඟ වෙන ණය කපා හැරීම 10%ක් වගේ වෙන්න පුළුවන්.  ඒ වගේම සියළුම දෙනාගේ එකඟතාවය ගන්න තව මාස තුනකට වඩා යන්න පුළුවන් කියන එක තමයි විශේෂඥ මතය.

වඩාත්ම අභියෝගාත්මක දේ තමයි ණය කපා හැරීමකට යන්න නම් දේශීය ණය ද යම් ප්‍රමාණයක් කපා හැරිය යුතු බවට බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරන කොන්දේසිය.  දේශීය බැඳුම්කර මිල දී ගෙන තිබෙන්නේ රාජ්‍ය බැංකු, රක්ෂණ සංස්ථා, අර්ථසාධක අරමුදල් වගේ අය.

ඒ නිසා දේශීය ණය කපා හැරීමකට ගියොත් රාජ්‍ය බැංකු ඇද වැටෙන්න පුළුවන්.  විශ්‍රාම යන අයට ගෙවීම් කරන්න අර්ථසාධක අරමුදල් වලට බැරි වෙන්න පුළුවන්.

ඒ නිසා දේශීය ණය කපා හැරීමක් කරන්න බෑ කියලා ආණ්ඩුව ඉතාම නිවැරදිව කියනවා.  නමුත් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඒකට එකඟ නෑ. ඔවුන් අහනවා ඇයි අපේ ණය කපා හරිනවා නම් ඇයි දේශීය ණය කපා හරින්නේ නැත්තේ කියලා. මේකත් ණය ප්‍රතිව්‍යුහකරණයට තිබෙන ලොකුම බාධාවක්.

මේ සියළු ගැටළු නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල් ජනවාරි මාසයේ තියා මාර්තු මාසයේ වත් ලැබෙයි කියා ආණ්ඩුවට ලොකු විශ්වාසයක් නෑ.    ඒ නිසා අද ආණ්ඩුවේ එකම බලාපොරොත්තුව වී තිබෙන්නේ මේ රට දෙපළු කරන්න දස දහස් ගණනින් අහිංසක ජනතාව ඝාතනය කරන්න රණවිරුවන් ආබාධිත කරන්න අරමුදල් යෙදවූ දෙමළ ඩයස්පෝරාවයි.

ඒ අයගෙන් සල්ලි ගන්න තමයි එරික් සෝල්හයිම් ජනාධිපති උපදේශක වෙන්නේ.  විදේශ අමාත්‍යාංශයේ ඩයස්පෝරා අංශයක් පිහිටුවන්නේ.  ඒ වගේම ඊයේ දිනයේ බලය බෙදීම පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නේ.”

(අද)

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved