Connect with us

පුවත්

IMF ලංකාවෙන් ඉවත්වන අවදානමක් – රනිල් වික්‍රමසිංහ

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව “සති අග අරුණ’’ වාර්තා කර තිබේ.

එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද යෝජනාවක් වන විදුලි ගැළපුම් ගාස්තු සංශෝධනය පසුගිය මාර්තු මස 31 වැනිදා අවසන් කරන ලෙස එම අරමුදල විසින් දැනුම් දී තිබුණ ද, එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපතිවරයා කීවේය. 

විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 344 ක් අප්‍රේල් මස පළමු සති දෙක තුළදී ලබා ගැනීමේ හැකියාව පැවැතියත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා එම මුදල ලබා ගැනීම තවත් ප්‍රමාද වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

විදුලි ගැළපුම් ගාස්තු මෙතෙක් ඉදිරිපත් නොකිරීම නිසා ඩොලර් මිලියන 344 ක් ලබා ගැනීමට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබීමට කල්ගතවනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙම ගැටලු මත ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සංවර්ධන ව්‍යාපෘති කටයුතු සඳහා මුදල් වෙන් කිරීම ද අවදානම් තත්ත්වයක පවතින බවද ඔහු පැවැසීය.

කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ජූනි මාසය වන විට දී අනිවාර්යයෙන්ම විදුලි බිල සම්බන්ධ උපකල්පනවල යම් යම් ගැටලු විසඳාගෙන නිසි පරිදි ඉදිරියට යෑම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම්දුන් බවය.

පුවත්

චීන ජනපති ෂී රුසියාවට යන්න හදයි!

Published

on

By

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ෂී මහතා මැයි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා තෙදිනක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙහිදී චීන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග දෙරටේ උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කිරීම මෙන්ම තවත් ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිත බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සැමරීම සඳහා මොස්කව් හී පැවැත්වෙන උත්සවයකටද සහභාගී වීමට නියමිතව ඇති විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම හමුවේදී චීන – රුසියානු සබඳතා වර්ධනය කිරීම සහ වැදගත් ජාත්‍යන්තර හා කලාපීය කරුණු මාලාවක් පිළිබඳව රුසියානු ජනාධිපති පුටින් සමග උපායමාර්ගික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

Continue Reading

පුවත්

ජපාන ආරක්ෂක අමාත්‍ය හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Published

on

By

ජපාන ආරක්ෂක අමාත්‍ය ගෙන් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියව අද (04) අරලියගහ මන්දිරයේදී හමුවී තිබේ.

දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙහිදී යළි තහවුරු කෙරුණු අතර, විශේෂයෙන් ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගිතාවය ජපන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් තහවුරු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එමෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන් හිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපාන රජයේ, විශේෂයෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අගමැතිවරිය සිය කෘතඥතාව පළ කළාය.

එසේම විනිවිදභාවය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික පරිවර්තනය සඳහා රජයේ කැපවීමද ඇය නැවත අවධාරණය කළාය.

දේශගුණික ප්‍රතිචාර, මානුෂීය ආධාර සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි වගකීම්ද ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය පුළුල් කිරීම සඳහා වන රජයේ ඉදිරි දැක්ම පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අදහස් හුවමාරු කර ගත්තාය.  

වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා ඇතුළු ප්‍රධාන අංශ පහක් හරහා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමටද දෙපාර්ශවයම එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Continue Reading

පුවත්

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී අද ලංකාවට

Published

on

By

විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

පොලීසිය පැවසුවේ, බෙලරූස් රාජ්‍යයේ සිට අද (14) උදෑසන 09.00ට පමණ එම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන එන බවය.

‘ලොකු පැටී’ නැමැත්තා ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ද වෙයි.

මෙම සැකකරුට එරෙහිව අධිකරණවල විභාග වන නඩු පහත පරිදි වේ.

2016.05.21 වන දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
එමෙන්ම 2017.05.09 වන දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය හා බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
2017.06.15 වන දින හෙරොයින් ග්‍රෑම් 299 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
2021.10.08 වන දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මේ අතර තවද මෙම සැකකරු විසින් විදේශගතව සිටිමින් පහත අපරාධ මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත.

2022.08.24 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
2022.09.23 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.
2022.10.12 වන දින අහුංගල්ල පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම.
2024.01.18 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීම.
2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved