Connect with us

පුවත්

IMF 4වැනි සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ  (EFF) සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළගා කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

එමෙන්ම ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත් (Sanjaya Panth), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන පීටර් බෘවර් (Peter Breuer), ඊවාන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) යන මහත්වරු ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

අනුර, මාලිනීට අවසන් ගෞරව දක්වයි

Published

on

By

සිනමා නිළි අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ  (25) රාත්‍රියේ පැමිණියේය.

ඒ වන විට ඇගේ දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර තිබිණි.

78වන වියෙහි පසු වූ මාලනී ෆොන්සේකා මහත්මිය පෙරේදා (24) අලුයම අභාවප්‍රාප්ත විය.

ඇගේ දේහය පෙරේදා පස්වරුවේ මාදිවෙල, අනුර මාවතේ පිහිටි ඇගේ නිවස වෙත රැගෙන යාමෙන් අනතුරුව සිට මේ දක්වා ඇයට අවසන් ගරු බුහුමන් දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණියේය.

එලෙස පැමිණි අය අතර හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ඝෝඨභය රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන අයද විය.

නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩු 46ක කතා නියෝජනයට කේස්

Published

on

By

පළාත් පාලන මැතිවරණය පවත්වන ලද පළාත් පාලන ආයතන 339 න් ආයතන 46 ක සියයට 25 ක කාන්තා නියෝජනය අසම්පූර්ණ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි.

පළාත් පාලන ආයතන සඳහා සියයට 25 ක කාන්තා නියෝජනය අනුව කාන්තා සභිකයින් 1,957 දෙනකු සිටිය යුතු වූවත්, සිටින්නේ 1,881 ක් පමණක් බවද ඔහු කියා සිටී. 

මෙම තත්වය මත කාන්තා නියෝජනය සම්පූර්ණ කර ගැනීමේ හැකියාවක් නැති බවද ඔහු අවධාරණය කරයි. 

උදාහරණයක් ලෙස පානදුර නගර සභාවේ කාන්තා සභිකයින් සිව් දෙනකු (04) සිටිය යුතු වුවත්, එහි සිටින්නේ එක් කාන්තා සභිකයෙකු පමණක් යැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 20 කට අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම මෙන්ම, ඔවුන්ගෙන් තේරී පත්වන මන්ත්‍රි ධුර සංඛ්‍යාව එකක් හෝ දෙකක් වීම කාන්තා නියෝජනය පත් කිරීමේ දී ගැටලු තත්ත්වයක් උද්ගත වන බවද ඔහු පෙන්වා දෙයි.

 මෙලෙස තේරී පත්වන මන්ත්‍රී ධූර එක හෝ දෙක සඳහා කාන්තාවන් නම් කරන ලෙස දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට නියම කිරීමේ බලයක් මැතිවරණ කොමිෂන් සභාවට නොමැති බව ද ඔහු පෙන්වා දී තිබේ.

කෙසේනමුත්, කාන්තා නියෝජනය සියයට 25 ක් වන පරිදි කාන්තා නියෝජනය නම්කරන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට දැනුම්දී ඇතැයි ද ඔහු මදහන් කර ඇත. 

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී තේරී පත්ව සිටින සමස්ත සභික සංඛ්‍යාවව 8,803 කි.

Continue Reading

පුවත්

මහාධිකරණ විනිසුරුවන්ගේ වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

දූෂණ විරෝධී පනතේ විධිවිධාන ප්‍රකාරව වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලුම මහාධිකරණ විනිසුරුවරුන් වෙත දැනුම් දී තිබේ.

2025 වර්ෂයට අදාළව තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන් උදෙසා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට අනුව, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සෝමරත්න මහාධිකරණ විනිසුරුවන් වෙත එම දැනුම්දීම කර තිබේ. 

නියමිත දින, නියමිත ආකෘති ප්‍රකාරව සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවත්, එසේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන තැනැත්තන්ගේ නාම ලේඛනයක් අදාළ දිනට පසු දිනම ආයතන ප්‍රධානීන් අල්ලස් කොමිසම වෙත යොමු කළ යුතු බවත්, එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

2025 ජුනි 30 දිනට වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දුන් හා නොදුන් නිලධාරීන්ගේ නම් ඇතුළත් නාමලේඛනය 2025 ජුලි 01 වැනිදා දින පස්වරු 1 ට පෙර අල්ලස් කොමිසමේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශය වෙත පැමිණ හෝ විද්‍යුත් තැපෑල මගින් හෝ ෆැක්ස් මගින් හෝ ලබාදීමට ආයතන ප්‍රධානියා කටයුතු කළ යුතුය යනුවෙන් ද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් වේ. 

දූෂණ විරෝධී පනත ප්‍රකාරව මහාධිකරණ විනිසුරුවරුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මගින් ද මීට ඉහත දී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබිණි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මහාධිකරණ විනිසුරුවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරගත යුතු තැනැත්තා වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බැවින් 2025 මාර්තු 31 දින වන විට සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරුන්ගේ, එදින වන විට පැවැති වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසමේ වෙබ් අඩවියේ දක්වා ඇති ඩිජිටල් ආකෘතිය පුරවා 2025 ජුනි 30 දින හෝ ඊට පෙර ජනාධිපති කාර්යාලය වෙත එවීමට කටයුතු කරන මෙන් මහාධිකරණ විනිසුරුවරුන් දැනුවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී. පී. එච්. එම්. කුමාරසිංහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමුකර තිබිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved