Connect with us

පුවත්

“L” බෝඩ් අය පාර්ලිමේන්තු එව්වත්, ඒ අය තාම ලයිසන් අරගෙන නැහැ ‍ (වීඩියෝ)

Published

on

ජනතාව දැන් බලාපොරොත්තු වන්නේ නැවුම් පක්ෂයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ සභිකයන් ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“ඔබ දිවුරුම් දී පළාත් පාලන ආයතනවල වැඩ බාර ගත යුතුව තිබෙනවා. ඔබ සියලු දෙනාටම අප විශේෂ පුහුණුවක් ලබා දෙනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමටත් පක්ෂ සංවිධාන කටයුතු ගැනත් පුහුණුවක් ලබා දේවි.
මේ ඡන්දය පැවැත්වුණේ පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණයෙන් පසුවයි. එය විශේෂ ඡන්දයක්. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එවැනි ඡන්දයක් පැවැත්වූ විට වැඩිම ඡන්ද ලැබෙන්නේ බලය තිබෙන ආණ්ඩු පක්ෂයටයි. නමුත් මෙහිදී ඊට වඩා දෙයක් වුණා.

මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් යළිත් වරමක් ඉල්ලුවා. ඔවුන්ට කලින් දුන් වරම තහවුරු කරන්නැයි කිව්වා. නමුත් සිදු වුණේ කුමක්ද?

පාර්ලිමේන්තු ඡන්දයේ දී ලැබුණු ලක්ෂ 68 ක ඡන්ද ප්‍රමාණය ලක්ෂ 45ක් දක්වා අඩු වුණා. ඒ කියන්නේ ලක්ෂ විසිතුනක පිරිසක් ආණ්ඩුවට අදාළ සහතිකය ලබා දුන්නේ නැහැ. ඒ කියන්නේ පළමු වතාවට ආණ්ඩුව වැටුණා.සාමාන්‍යයෙන් වරම ඉල්ලුවා නම් වරම ලැබෙන්න ඕන. වරම ලැබෙන්නේ නැතිනම් ඒක විශාල පසුබැසීමක්. ඒ කියන්නේ මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

අනෙක් පක්ෂ වලට සිදුවුණේ කුමක්ද? අප පාර්ලිමේන්තු ඡන්දය තරඟ කළේ පොදු පෙරමුණ සමග එකට එකතු වෙලා. ඒ අනුව අපට ඡන්ද පන්ලක්ෂ හැට හත් දාහක් ලැබුණා. මේ සැරේ පොදු පෙරමුණ වෙනම ගියා. අප අලියා ලකුණෙන් ආවා. CWC කුකුලා ලකුණෙන් ආවා. මේ සියල්ල එකතු කළ විට අපට ඡන්ද නවලක්ෂ හතලිස් හත් දහස් එකසිය පනස් අටක් ලැබී තිබෙනවා.

එසේ නම් අප කණ්ඩායමට අලුතින් ඡන්ද තුන් ලක්ෂ අසූ දහසක් වැඩි වෙලා තිබෙනවා. ඡන්ද වැඩිකර ගත්තා යැයි එක අතකට අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්. අනෙක් අතින් ඒ ප්‍රමාණය ලක්ෂ දෙකකට සීමා වූ නිසා අපට සෑහීමකට පත්වෙන්න බෑ. එය ඊට වඩා වැඩි වෙන්න තිබුණා.

පොහොට්ටුවට මහ ඡන්දෙදි ලැබුණේ තුන් ලක්ෂ පනස්දහසයි. මේ ඡන්දෙදි නව ලක්ෂ පනස් හතරදාහක් ලැබුණා. ඒ අයට ඡන්ද ලක්ෂ හයකින් වැඩි වුණා.

එමෙන්ම සජබෙට පාර්ලිමේන්තු ඡන්දෙ දී  විසි දෙලක්ෂයක් ලැබුණා. මේ ඡන්දෙදි දහනව ලක්ෂයක් ලැබුණා.

අද තිබෙන තත්ත්වය මේක තමයි. ඒ සභා පුළුවන් තැන්වල එකට එකතු වී බලය පිහිටුවීමට පක්ෂ සියල්ල කතා කරමින් සිටිනවා. අනිත් තැන්වල විපක්ෂය ලෙස ක්‍රියා කරනවා. ඒක ඒ අය කරගෙන යාවි අපෙත් මහලේකම්තුමිය, සභාපතිතුමා, ජාතික සංවිධායකතුමා මෙන්ම උප සභාපතිතුමා මේ ගැන ඒ අය සමග කතා කරගෙන යනවා. පුළුවන් තැන්වල ඒකට එකතු වී අප ඒ වැඩකටයුතු කරනවා.

මෙතන බැලූ විට අලුත් මූහුණු ගොඩක් ඉන්නවා. සජබෙ, පොදු පෙරමුණේ, පොහොට්ටුවේ ගිහින් බැලුවොත් ඔවුන්ගෙත් අලුත් මුහුණු ගණනාවක් ඉන්නවා. මාලිමාවෙත් අලුත් මුහුණු ගණනාවක් ඉන්නවා.

මේ සැරේ දාලා තියෙන්නේ අලුත් මුහුණු. ගිය පාර්ලිමේන්තු ඡන්දෙදි සම්ප්‍රදායික අය ප්‍රතික්ෂේප කළා. පළපුරුදු අය ප්‍රතික්ෂේප කළා. එල්බෝඩ් ඉදිරියට එව්වා. නමුත් තාම ඔවුන් ලයිෂන් අරගෙන නැහැ. ඒ සඳහා අලුත් මුහුණු අවශ්‍ය වුණා. හැම තැනම එය සිදුවෙනවා. අලුත් මුහුණු පමණක් නොව අලුත් ක්‍රමවේදයකුත් ක්‍රියාත්මක කළ යුතුයි.

අප පක්ෂය ගොඩ නගද්දී සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ අදාළ වැඩ කටයුතු කළ යුතුයි. ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද වැඩිකර ගත්තේ මම නොවේ. මා එය කොමිටියකට බාර දුන්නා. ඔවුන් විසින් එය කරනු ලැබුවා. පක්ෂයේ නියෝජ්‍ය නායක, මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක, උපසභාපති, උපනායක මෙන්ම හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර වැනි අය කැපවී කටයුතු කළා.

ඔවුන් බෙදාගෙන ඒ කටයුතු කර මේ ප්‍රතිඵලය ගත්තා. මට අවශ්‍ය වුණේ ඒ වගකීම වෙන අයට බාර දීමටයි. දැන් ඒ ප්‍රතිඵල උඩ අප අලුත් පක්ෂයක් සැදිය යුතුයි. ඒක කරන්නෙත් මම නොවේ. මම මේ කොමිටියට එය බාර දෙනවා. එය කළ හැකිද නැද්ද කියා බලන්න අප කාල සීමාවක් දිය යුතුයි. එතකොට වැඩි වැඩියෙන් අලුත් මූනුත් දාන්න වෙනවා.

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. පනස් හයේදී අප එහෙම අලුත් පක්ෂයක් හැදුවා. හැත්ත හතේදී අප එහෙම හැදුවා. නැවත 2001 ඡන්දෙට අප අලුත් වුණා. ඉදිරියට යා යුත්තේ ඒ අනුවයි.

මේ රට අසීරු අවස්ථාවේ ගොඩ ගත්තේ අපි. අනෙක් පක්ෂ සමග එකතු වී අප එය කළා. ඒ දර්ශනය අනුව ඉදිරියට යා යුතුයි. පක්ෂ ගොඩනැගීමේදී අපේ මූලික ඒකකය වන්නේ ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද කොට්ඨාසයි.

නීතිඥයින්, වෘත්තිකයන්, රජයේ සේවකයන් පත් වී ඉන්නවා. ප්‍රතිශතය අනුව සභිකයන් පත් කරන්න අප තීරණය කළා. ඔක්කොම ඉදිරිපත් කරන්නේ කොට්ඨාසයක් දිනන්න. වැඩිම කොට්ඨාස දිනන්න බැරි වුණා නම් අප ප්‍රමුඛත්වය  දෙන්න ඕන වැඩිම ප්‍රතිශතය ගත්ත අයටයි. ප්‍රතිශතය අඩු වුණානම් ආපහු දිනන්න බෑ. ප්‍රතිශතය අඩු නොතේරුණු අයත් සංවිධාන කටයුතුවලට ගන්න අප තීරණය කර තිබෙනවා.

ඒ වගේම ඡන්ද වැඩි වුන අයත් ඉන්නවා. සමහර පරණ අයට මීට ඇතුළු වෙන්න බැරි වුණා. පක්ෂය අලුතින් ගොඩ නගද්දී  ඒ පරණ අයගේ උපදෙස් අප ලබා ගත යුතුයි.

අවුරුදු 18 ළමයට රටේ යුද්ධය මතක නෑ. ඔවුන්ට මතක පාස්කු ඉරිදා බෝම්බය විතරයි. අපි ඡන්දෙ කරන කොට තිබුණේ ශාඛා සමිති. ඒ ප්‍රදේශවල ටෙලිෆෝන්වත් නෑ. දැන් අප අලුත් සමාජයකට ගමන් කරමින් ඉන්නවා.

අප නැවත වැඩිම ඡන්ද ගන්න පුළුවන් ලෙස ගොඩනැගිය යුතුයි. අප විනයක් ඇතිව අනෙක් පක්ෂවල අයත් මෙතැනට එකතු කරගෙන අලුත් පක්ෂයක් ගොඩනගමු. මා ඒ වගකීම අදාල කොමිටියට බාර දී තිබෙනවා.”

පුවත්

පාසල් 18කට රතු නිවේදන නිකුත් කරයි

Published

on

By

පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේඥ වෛද්‍ය වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය.

මෙහිදී පාසල් 257ක් පරීක්ෂාවට ලක්කළ අතර එයින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇති පාසල් 131ක් සොයා ගත් බවත් එය 51%ක ප්‍රතිශතයක් බව ද සඳහන් කළ වෛද්‍යවරිය, මදුරු කීටයින් ඇති පාසල් 37ක් හඳුනාගත් බවත් එය 14.4%ක ප්‍රතිශතයක් බවත් පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය හා එක්ව විශේෂ මදුරු මර්දන වැඩසටහනක් පසුගිය මැයි මස 19 වන දින සිට 24 වන දින දක්වා දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය.

Continue Reading

පුවත්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

Published

on

By

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවය

Continue Reading

පුවත්

ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ

Published

on

By

ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ පළමු  පොල් කිරි තොගය හෙට දිනයේ නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතියට අනුව ක්‍රියාත්මක කරනු ලබන කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මෙයයි.

 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන( ශිතකල පොල් මද,පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන)ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මෙම තොගය ගෙන්වනු ලැබූ බව අමාත්‍යාංශය පවසයි.

මෙම තොගය, පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදා ගැනීමට නියමිතය.

මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අපේක්ෂාව වේ.

එමෙන්ම මෙම තොගය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතන වලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතය.

තොගය විවෘත කිරිම හෙට (31)  උදෑසන 9.00 ට RCT සංකීර්ණය, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදී සිදු කිරිමට නියමිතයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved