Connect with us

පුවත්

Onmax DT ටීම් එක එළියේ ඉන්න ඩීල් එක; සල්ලි ජෝර්ජියාවේ ගිනුමකට මාරුකරලා

Published

on

ඇමරිකානු ඩ‌ොලර් කෝටි 10කට ආසන්න මුදලක් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූ  බවට චෝද​නා එල්ලවී ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග නිකුත් කරන ලද ‘ඔන්මැක්ස් DT’ (Onmax DT) ආයතනය තවමත් එහි ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටී.

ලංකාවේ ලියාපදිංචි කර​න ලද මේ ආයතනය වැඩිදුරටත් ප්‍රචාරය කරමින් සිටින්​නේ ඔවුන් තවමත් එහි මුදල් ආයෝජනය කළ පිරිසට නොකඩවා මුදල් ගෙවන බවයි.

ඔවුන් මේ ජාවාරමේ ප්‍රචාරක කටයුතු සදහා මුලින් යොදාගත් මාධ්‍ය වන සමාජ මාධ්‍යම යොදා ගනිමින් මේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටී.

එසේ​ම අදාළ ප්‍රචාරක කටයුතු හේතුවෙන් මේ වන විට මෙරට අධිකරණ පද්ධතිය හා මහ බැංකුවද, හෑල්ලුවට ලක්වී ඇත.

‘ඔන්මැක්ස් DT’ (Onmax DT) එසේ සමාජ මාධ්‍යට මුදාහැර ඇති ප්‍රචාරක සටහනක්

මේ ආයතනය ඇතුළු තවත් ආයතන තුනක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් පරීක්ෂණයක් සිදු කර ඉන් අනතුරුව එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් හා නිර්මාතෘවරුන් බැංකු පනතේ 83 ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියා කර තිබීම නිසා මොවුන්ට එරෙහිව මහ බැංකුව විසින් නඩු පැවරීම සිදුකර තිබිණි.

මහ බැංකුව විසින් එලෙස නඩු පවරනු ලැබුවේ ප්‍රසිද්ධ නිවේදනයක්ද ජනමාධ්‍ය හරහා මුදාහරිමිනි.

මහ බැංකුව නිකුත් කරන ලද නිවේදනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළ අන්දමට ඇමෙරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරටින් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

ඇමෙරිකාවේ  ‘බයිනෑන්ස් ඩොට්කොම්’ මුල්‍ය සමාගමේ ගිණුම් අටක අත්‍යන්ත මුදල් මුදල් (Crypto Currency) වශයෙන් රුපියල් කෝටි 43කට අධික මුදලක්  තැන්පත් වී ඇති බවට මෙම විමර්ශනයේ දී හෙළිවූ අතර, ඒ අනුව  එම ගිණුම් අටේ ගනුදෙනු ඊයේ (19) සිට මාස හයක කාලයක් අත්හිටු වීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය. 

ඒ අනුව මෙලෙස අත්හිටු වූ ගිණුම් අට වන්නේ, ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම (ශ්‍රී ලංකාව), ඔන්මැක්ස් පී.ටී. වයි.එල්.ටී.ඩී. සමාගම (ඔස්ට්‍රේලියාව), ශ්‍රී ලාංකිකයින් වන ධනංජය ගයාන්, සම්පත් සඳරුවන් ලේනදූවගේ, සාරංග රන්දික ජයතිස්ස (ගිණුම් දෙකක්), වික්‍රමපේලි ගෙදර චන්ද්‍රකාන්ති සහ කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත් යන අයවලුන්ගේ නමින් පිහිටුවා ඇති ගිණුම්ය.

මෙම ගිණුම් හිමි අය අතර, මෙරට පිහිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් සිවු දෙනකු වන සම්පත් සඳරුවන්, කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ගයාන් යන අයවලුන් ද ඇතුළතව සිටිති.

එම පුද්ගලයන් සිවු දෙනා ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් ඉකුත්දා නිකුත් කෙරිණි. 

මෙම ඔන්මැක්ස් පුද්ගලික සමාගමේ  ගිණුම් දෙකක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. 

එම ගිණුම් සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා එම පුද්ගලයන් දෙදෙනාගේ ජංගම දුරකතන, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.  

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය දුන්නේය.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදා ගත් ලංකා බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, නේෂන් ට්‍රස්ට්, සෙලාන් බැංකුව සහ පීපල්ස් ට්‍රස්ට් යන බැංකු හා මුල්‍යායතනවල අදාළ සමාගම නමින් තිබූ බැංකු ගිණුම් 57 ක් ද අත්හිටු වීමට ඉකුත් 28 වැනිදා අධිකරණයෙන් නියෝග නිකුත් කෙරිණි.

​ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින්  කරන ලද පැමිණිල්ලකට අනුවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි.

 ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම ලෙසින් සමාගමක් ලියාපදිංචි කරමින් එම සමාගම හරහා නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කරමින් අතත්‍ය මුදල් වොලට්ටුවල (Crypto Currency Wallent) ඇමරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් ගනුදෙනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.  

බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අධ්‍යක්ෂවරු ඇයි නිදැල්​ලේ

මේ අතර, මෙහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනු ලබන පුද්ගලයින් තවමත් නිදැල්ලේ සිටීම අති භයානක එම පිරමීඩ ගනුදෙනු වල මුදල් යෙදවූ අය කියති.

එසේ​ම මෙහි මුදල් ආයෝජනය කළ ඇතැම් අයට තවමත් මුදල් ලැබෙන්නේ මෙහි අධ්‍යක්ෂවරුන් විසින් අදාළ මුදල් ජෝර්ජියාවේ ගිනුමක් වෙත මාරු කර තිබීම නිසා බවත් රහස් පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තවත් තොරතුරු ඉදිරියේදී…

සබැදි පුවත්:

නාමල්ගේ කී Onmax DT ඇතුළු පිරමීඩ ජාවාරම් 3කට අපරාධ නඩු!

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved