Connect with us

පුවත්

P 627 නෞකාව  “විජයබාහු” නමින් අධිකාරියට පත් කෙරේ (ඡායා)

Published

on

සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627  ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය.

නාවික හමුදා විශේෂ රථ පෙළපාලියකින්  උත්සව භූමියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නාවික හමුදා උත්තමාචාර මැද පිළිගනු ලැබීය.

අභිනව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අනතුරුව “විජයබාහු” නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නෞකාවේ සමරු පොතෙ‍හි විශේෂ සමරු සටහනක් ද තැබීය.

නාවික හමුදාපතිවරයා විසින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

 “Hamilton Class High Endurance Cutter”  යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මීටර් 115කි. උපරිම වේගය පැයට නාවික සැතපුම් 29කි.  එක් වරකදි අවම වශයෙන් නාවික සැතපුම් 14,000ක දුරක් ආවරණය වන පරිදි අවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නාවික තාක්ෂණ උපාංග හා පහසුකම්වලින් ද මෙම නෞකාව සමන්විත වේ. ‍

එමෙන්ම මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදු කළ වකවානුවේ, එරට මුහුදු කලාපයේ සිදු වූ නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය, නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දී ඇත.

P 627  ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරුව එහි අණ දෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ නෞකාවේ පළමු කාර්ය මණ්ඩලයට අයත් 130 දෙ‍නෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයට මාස 10ක පමණ කාලයක් නෞකාව සම්බන්ධ පුහුණුවක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නෞකාවේ නවීකරණ කටයුතු සිදු කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති  ජූලි චන්ග්, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සි. ඩී වික්‍රමරත්න යන මහත්වරු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

ටෙක්සාස් හි ගංවතුරෙන් ළමයි 15ක් ඇතුළු 43ක් ජීවිතක්ෂයට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

පැවති වර්ෂාපතනයත් සමග ඉකුත් සිකුරාදා අලුයම ග්වාඩලූප් ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇති වූ අතර දිවි ගලවා ගත් පුද්ගලයින් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතින බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමඟ සහන සේවකයින් 500කට වැඩි පිරිසක් ද යොදවා ඇති අතර මේ වන විට පුද්ගලයින් 850ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ටෙක්සාස්හි ග්වාඩලූප් ගං ඉවුරේ පිහිටා තිබූ කඳවුරක් වන අතර, එහි සිටි වයස අවුරුදු 12ට අඩු ගැහැණු ළමයින් ඇතුළුව 27 දෙනෙකු අතුරුදන් වී ඇත.

මේ අතර ඇතිවූ හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය, පළාත් පාලන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත්, ඕනෑම ආධාරයක් ලබා දීමට සුදානම් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලියද ඇනහිට ඇති අතර මේ හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා මතුව ඇති බවද විදෙස් මාධ්‍යවල දැක්වේ.

ජාතික කාලගුණ සේවය පැවසුවේ ජලගැලීමෙන් තවමත් පීඩාවට පත් ඇතැම් ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඒ හේතුවෙන් මධ්‍යම ටෙක්සාස්හි ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවයි.

හදිසි ගංවතුර හේතුවෙන් කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ද ආපදා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බවද පැවසේ.

Continue Reading

පුවත්

බහාලුම් නිදහස් කිරීමේ කේස් එකට රේගු අධ්‍යක්ෂ ජනරාල් කොටු වෙයි?

Published

on

By

පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ බහලු‍ම් 323 නිදහස් කිරීමේ සිද්ධියට අදාළව පවත්වන ලද පරීක්ෂණයේ වාර්තාව අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ බලතල ඉක්මවා ක්‍රියා කර බහලු‍ම් මුදාහැර ඇති බව පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

ඒ සමඟ ඔහු විසින් අදාළ පරීක්ෂණ වාර්තාව ද සභාගත කරනු ලැබීය. එම වාර්තාව අනුව නිදහස් කරන ලද බහලු‍ම් සංඛ්‍යාව 323 ක් නොව 309 කි. එයින් බහලු‍ම් 151 ක් රතු ලේබල යටතේ ඉදිරිපත් වුවද එයින් 37 ක් විධිමත් නීතිමය ලෙස පරීක්ෂාවට ලක් නොකර නිදහස් කර ඇති බවද ඔහු සඳහන් කළේය. එම තීරණය ගැනීමට පෙර බහලු‍ම් 2 කලින්ම නිදහස් කර යවා ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

පවත්නා රේගු නීතිය අනුව රතු ලේබල් ගැසූ බහලුම් නිදහස් කළ යුත්තේ භෞතික පරීක්ෂාවකින් සහ ස්කෑන් පරීක්ෂාවකින් පසුව බවද අදාළ වාර්තාවේ සඳහන් වන බව වාර්තා වේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

O/L ප්‍රතිඵල ජූලි 15ට කලින්

Published

on

By

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 15 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ පවතින බවයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 478,182කි.

ඉන් 398,182ක් පාසල් අයදුම්කරුවන් ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved