Connect with us

පුවත්

PCට අරියාදු කළාට ASP ඇතුළු පොලිසියේ 4කට පෞද්ගලික මුදලින් ලක්ෂ 20ක් ගෙවන්න නියෝග

Published

on

කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටිය මහතාට එරෙහිව බොරු නඩු පවරා ඔහුගේ වැඩ තහනම් කර, ඔහුගේ බිරිය අත්අඩංගුවට ගෙන රඳවාගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස එවක අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි යූ.එම්. අමරසිරි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නියම කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් කිහිප දෙනකු නිදහස් කරන ලෙස කළ බලපෑම් නොසලකා ඒ සම්බන්ධ විමර්ශන දිගටම සිදු කිරීමට පළි ගැනීමක් ලෙස පොලිස් කොස්තාපල්වරයාට මෙසේ බොරු නඩු පවරා ඇතැයි පෙත්සමේ සඳහන් විණි.

අදාළ සිද්ධිය මඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් එවක අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.එම්. අමරසිරි, එවක කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති මංගල ද සොයිසා අමරසේකර, එම පොලිසියේ අපරාධ අංශය භාර ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ද සිල්වා සහ පොලිස් සැරයන් ඉන්දික ද සිල්වා යන නිලධාරීන්ට මේ නියෝගය කරන ලදි. 

ඒ වන්දි මුදල් ඊයේ සිට මාස 6ක කාල සීමාවක් ඇතුළත ඔවුන් සියලු දෙනා එක්ව ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් ගෙවා අවසන් කරන ලෙස නියම කළේය.

මේ සිද්ධිය වෙනුවෙන් රජය විසින් රු. 25,000ක වන්දියක් එම පොලිස් කොස්තාපල්වරයාට ගෙවිය යුතු බවටද නියම කෙරිණ. 

එසේම මෙම සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ නඩු තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් වරයාට නියම කෙරිණි.

මේ සිද්ධියට එරෙහිව පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ බිරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශ කරමින් මේ නියෝග කරන ලදි.

එසේම පෙත්සම්කාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම, අසත්‍ය නඩු පැවරීම සහ ඔහුගේ වැඩ තහනම් කිරීම තුළින් වග උත්තරකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරින් ද්වේෂ සහගත ආකාරයෙන් කටයුතු කරමින් සිය නීත්‍යනුකූල බලය ඉක්මවා කටයුතු කර ඇති බවත් අධිකරණය විසින් තීන්දු කරන ලදි.

ජනක් ද සිල්වා, ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතු නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශයට පත් කළේය. 

මහ ජනතාවගේ ආරක්ෂාව භාරව පොලිසිය කටයුතු කරන අතර නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑම සහ තහවුරු කිරීමේ බලය පොලිසිය වෙත පැවරී තිබෙන බව නඩු තීන්දුවෙහි සඳහන් වේ. 

පොලිසියේ එම වගකීම ප්‍රශ්න සහගත බව මෙම පෙත්සම් විභාගයෙන් පෙනී යන බව විනිසුරු මඬුල්ල අවධාරණය කර තිබේ.

කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටිය කොස්ගොඩ පොලිසියේ සේවය කරමින් සිටියදී එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන විමර්ශන සිදු කර ඇත. 

විමර්ශන සිදු නොකර ඒ සැකකරුවන් නිදහස් කරන ලෙස වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් පෙත්සම්කරුට බලපෑම් එල්ල කළ නමුත් ඊට අවනත නොවී පෙත්සම්කරු ඒ විමර්ශන දිගටම සිදු කිරීම නිසා

සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු වගඋත්තරකරුවන් ඔහු සමග සතුරුකමක් ඇති කරගත් බවත් පෙත්සම් විභාගයේදී අනාවරණය වූ බව නඩු තීන්දුවෙහි සඳහන් වේ. 

ඊට පළි ගැනීමක් ලෙස 2021 වසරේ නොවැම්බර් 2 වැනිදා සිය නිවෙසට ගිය වග උත්තරකාර පොලිස් නිලධාරීන් තම බිරිය මාස 9ක් වයසැති දරුවාත් සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය බව පෙත්සම්කරු සඳහන් කර තිබිණි. 

අනතුරුව ඔවුන් පැය 5ක පමණ පොලිසියේ රඳවාගනිමින් තමා මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයකු බවට ඇයගෙන් ප්‍රකාශයක් ගැනීමට උත්සාහ කළ බවත් පෙත්සම්කරු කියා සිටියේය. 

මේ පිළිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඇය මුදාහැරීමට කටයුතු කෙරුණු බවත් පෙත්සමේ සඳහන් විය.

අනතුරුව 2021 වසරේ නොවැම්බර් 3 වැනිදා වගඋත්තරකාර පොලිස් නිලධාරීන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පෙත්සම්කරු මත්ද්‍රව්‍ය පානය කරන බවට දැනුම් දී ඇත. 

අනතුරුව ඔහුගේ වැඩ තහනම් කර ඇත.

අනතුරුව අධිකරණයට භාර වූ තමා ඇප මත මුදාහැරීමට තීන්දු කළ අතර, තමා මත්ද්‍රව්‍ය පානය කරන අයෙක්ද? යන්න තහවුරු කරගැනීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තාවක් හා රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළ බවත් පෙත්සම්කරු විසින් සදහන් කර තිබිණි.

ඔහු මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයකු නොවන බව එම අධිකරණ වෛද්‍ය වාර්තාව හා රජයේ රස පරීක්ෂක වාර්තාව මඟින් කරුණු අනාවරණය කර තිබුණු අතර ඒ අනුව 2022 වසරේ මාර්තු 9 වැනිදා පෙත්සම්කරු මේ චෝදනාවලින් නිදහස් කර ඇති බව පෙත්සම් විභාගයේදී අනාවරණය වී ඇත.

මෙකී කරුණු සියල්ල සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම්කරුගේ බිරිය සහ ඔහුගේ මාස 9ක් වයස ඇති දරුවා කිසිදු සාධාරණ හේතුවක් නැතිව අත්අඩංගුවට ගෙන පැය 5ක කාලයක් පොලිස් ස්ථානයේ රඳවාගැනීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළේය. 

එසේම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම් කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටද අධිකරණය තීන්දු කළේය.

(දිනමිණ)

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved