පුවත්

PHIලා අද සිට දින 2ක් වැඩ නෑ

Published

on

සිය වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබාදීම බලධාරීන් විසින් දිගින් දිගටම මඟහැරීම හේතුවෙන් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (30) සහ හෙට (31) සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්යක නිරත වීමට තීරණය කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා සඳහන් කළේය.

මීට අමතරව, රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව අද (30) දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබේ.

2024 ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර ඒ සඳහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දහවල් 12.00ට දිවා ආහාර කාලයේ මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පැවසුවේ මෙවර අයවැය තුළින් සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් නොවැම්බර් 13න් පසුව වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවය.

එමෙන්ම වෘත්තීය සමිති විරෝධතා මර්දනය කිරීම ආණ්ඩුවේ මීළඟ ප්‍රයත්නය බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

මේ අතර දිවයින පුරා විරෝධතා රැල්ලක් ඇති කිරීමට රටේ සියලු පාර්ශව දායකත්වය ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමු‍ණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසයි.

Trending

Exit mobile version