පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු කණ්ඩායමට ඉහළින් සිටි බවට ජනාධිපති කොමිෂමේදී හෙළිවූ “අබුහින්ඩ්” නම් පුද්ගලයා ගැන කිසිදු පරීක්ෂණයක් කර නැතැයි ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කියයි.
ඒ මහතා ජාතික ජන බලවේගය ඊයේ (17) පෙරවරුවේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයෙක්ද ඔහු විදේශිකයෙක්ද, ඔහු ශ්‍රී ලාංකිකයෙක්ද එහෙමත් නැතිනම් එය ඇත්ත නමක්ද බොරු නමක්ද එවැනි ආරූඪ නාමයකින් කෙනෙක් ජීවත් වෙනවාද වැනි මෙතෙක් තහවුරුකරගෙන නැතැයි ද ඔහු කීය.
පාස්කු ප්‍රහාරය එල්ල කළ ස්වයං ඝාතක කණ්ඩායම් නිර්මාණය කිරීම අවුරුදු ගණනාවක් සිදු කරන ලද මොළ සේදීමේ ප්‍රතිඵලයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
එසේම ස්වයං ඝාතක කණ්ඩායම් පුහුණු කිරීම යූටියුබ් බලා කෑම පිසීමට ඉගෙන ගන්නවා වැනි සරළ කාරණයක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ කුමරප්පෙරුම මහතා,
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මම එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ශානි අබේසේකර යන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියා.
එම කොමිසමේදී අනාවරණය වූ කරුණු අනුව විමර්ශන කටයුතු සිදුවුණේදැයි සහ මේ ප්‍රහාරය සිදුකරන්නේ මොන වගේ කුමන්ත්‍රණකාරී පසුබිමකදැයි මූලික වශයෙන් පැහැදිලි කරන්නම්. මේ කුමන්ත්‍රණය සිදුකරන්නේ දේශපාලන බලපෙරළියක් සඳහා වූ වුවමනාවකින්ද, 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වෙනවාත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ක්‍රියාවලිය ඒ දක්වා සිදුකළ නිලධාරීන් මාරුකර ඉන් පසුව සම්පූර්ණයෙන්ම අඩපණ කර දමනවා. මේ කරුණු පිළිබඳව අද දක්වාම කිසිදු විමර්ශනයක් සිදුකර නැහැ. සහරාන් ඇතුළු කණ්ඩායමට ඉහළින් සිටින අබුහිඩ් නම් පුද්ගලයෙක් ගැන ජනාධිපති කොමිෂමේදී හෙළි වුණා. නමුත් ඔහු පිළිබඳව මේ දක්වා ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයෙක්ද ඔහු විදේශිකයෙක්ද, ඔහු ශ්‍රී ලාංකිකයෙක්ද එහෙමත් නැතිනම් එය ඇත්ත නමක්ද බොරු නමක්ද එවැනි ආරූඪ නාමයකින් කෙනෙක් ජීවත් වෙනවාද වැනි කරුණු කිසිවක් ගැන පරීක්ෂණ පවත්වා නැහැ.
“තාජ් බෝබේ පුපුරන්න කළින් බුද්ධි නිලධාරීන් එය පිපිරවූ ජමීල්ගේ නිවසට ගියේ ඇයි?
“ප්‍රහාරය එල්ලවීමත් සමගම වාගේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නඩු පවරා ඒ නඩුවලින් ඔවුන් නිදහස් වූවා. ඊට අමතරව විශේෂ අපරාධ නඩුවක් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ තවමත් විභාග වෙමින් පවතිනවා. ඒ හැර වෙනත් කිසිම අපරාධ නඩුවක් අද වෙනතුරු අධිකරණයක් ඉදිරියේ පවරා නැහැ.
ඒ වගේම තාජ් හෝටලයේ බෝම්බ පුපුරවා ගත් ජමීල්, දෙහිවල පල්ලියකදී ආරක්ෂක නිලධාරියාගේ ප්‍රශ්න කිරීමට ලක්ව ඔහුගේ පදිංචිය තහවුරු කර ගන්න කොලොන්නාවේ නිවසට දුරකථන ඇමතුමක් ගන්නවා. එයට උත්තර දෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්. ඔවුන් ජමීල්ගේ ගෙදර ගිහින් හිටියේ ඇයි කියලා මේ දක්වා විමර්ශනයට ලක්කර තිබෙනවාද? ඒ වගේම සාරා ජෙස්මින් සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්‍රකාශ ගණනාවක් තිබෙනවා. 2023 දක්වා සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ. සාම්පල් පරීක්ෂා කර බැලුවත් අවස්ථා කිහිපයකදීම සමපාත වුණේ නැහැ. අවසන් වශයෙන් එම සාම්පල් තහවුරු වූ බව කීවත් ඒ සම්බන්ධයෙන් විශාල සැකයක් සමාජයේ පවතිනවා. ඩී.එන්.ඒ. සම්බන්ධයෙන් මේ කතාව ඇත්තක්ද? වෙනත් දෙයක් හංගන්න කරන උත්සාහයක්ද? ඒ වගේම සාරා ජෙස්මින් සත්‍ය වශයෙන්ම මරණයට පත්වූවාද? නැත්නම් ජීවත් වෙනවාද? මේ වැනි කරුණු ගණනාවක් විමර්ශන තුළින් නිරාකරණය වී නැහැ.
මේක කුඩු නෙට්වර්ක් එක වගෙයි කුඩු අහුවුණාට උඩින් ඉන්න කෙනා අහුවෙන්නේ නැහැ
එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සිය දිවි නසා ගන්නා ඝාතක කණ්ඩායම් නිර්මාණය කළේ සෑහෙන කාලයක් ගිය පසුවයි. යූ. ටියුබ් බලලා කෑම උයන්න ඉගෙන ගන්නවා වගේ වැඩක් නොවෙයි, මෙවැනි ස්වයං ඝාතක කණ්ඩායම් නිර්මාණය කිරීම. ඔවුන්ගේ මොළ සුද්ද කළේ කවුද? මෙවැනි කණ්ඩායම් පුහුණු කිරීමට අවුරුදු කීයක් ගතවෙනවාද? මේකත් හරියට ලංකාවේ කුඩු නෙට්වර්ක් එක වගෙයි. කුඩු අහුවෙනවා, උඩින් ඉන්න කෙනෙක් සොයා ගන්න බැහැ. සහරාන්ලට මේ පාඩම් ඉගැන්වූ පුද්ගලයන් කවුදැයි මේ දක්වා විමර්ශනවලින් හෙළිකර ගෙන නැහැ. මුලින් විමර්ශනය කළ නිලධාරීන් පන්නා දැමුවාට පස්සේ විමර්ශන කටයුතු නිසියාකාරව සිදුවුණාද? මෙවැනි ගැටලු නිරාකරණය කර ගන්න නම්, වින්දිතයන්ට සාධාරණයක් ඉටුකර ගන්න නම්, අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතුයි. අපි මේ ප්‍රඥප්තියෙන් තහවුරු කරන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ රටේ ජනතාවට ඉටුකළ යුතු යුක්තිය ඉටුකරන බව අවධාරණය කරන්නයි.