පුවත්

UNPට යන්නැදැයි ඇමති ප්‍රසන්න ගෝලයින්ගෙන් අසයි?

Published

on

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේවන විට දෙලොවක් අතර තනිවී ඇතැයි වාර්තා වේ.

ඔහුට මතුව ඇති මේ ප්‍රශ්නය විසඳා ගැනීමට පසුගිය 20 වැනිදා රාත්‍රියේ ඔහුට ඉතා කිට්ටු මිනුවන්ගොඩ පළාත් පාලන  මන්ත්‍රීවරුන්ගේ රහසිගත මත විමසුමක් සිදු කර ඇතැයි වාර්තා වේ.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මණ්ඩලය මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හා නගර සභාවේ සභාපතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුගේ ප්‍රධානතම ආධාරකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විත බව පැවසේ.

රණතුංග ඇමතිවරයා දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර මෙම කණ්ඩායමේ අදහස් විමසීමක් මීට පෙරද සිදුකර තිබේ. 

ඒ 2015 දී “මහින්ද සුළඟ” වේදිකාවට නැඟීමට පෙර මේ පිරිස කැඳවා ඔහු මෙලෙස විමසා ඇතැයි පැවසේ.

වාර්තා වන අන්දමට මෙහිදී රහස් ඡන්ද විමසීමක් ද සිදුව ඇති අතර එය සිදුකර ඇත්තේ 20 වැනිදා රාත්‍රියේ මිනුවන්ගොඩ මාබොදල ප්‍රදේශයේ පිහිටි රණතුංග මහතාගේ හිතවතකුට අයත් උත්සව ශාලාවකදීය.

පැමිණි සියලුම දේශපාලන මණ්ඩල සාමාජිකයන්ට ඡන්ද පත්‍රිකාවක් ලබා දී ඇති අතර එහි ප්‍රශ්න දෙකක් විමසා තිබී ඇත. 

රටේ ආර්ථික අර්බුද විසදීමේ අභියෝගය බාරගත් නායකයා සමඟ ඉදිරියට යාම සුදුසු ද, නැතහොත් මෙතෙක් සිටි දේශපාලන ස්ථාවරයේ කටයුතු කිරීම සුදුසු ද යන්න එම ප්‍රශ්න දෙකයි.

සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැතැයිද පැවසේ.

දේශපාලන මණ්ඩලයට දැනුම් දී ඇත්තේ එහි ප්‍රතිඵලය දැනට විදේශ ගතව සිටින ඇමතිවරයාට දැනුම් දෙන බවයි.

වත්මන් රජයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ද වේ. 

ඔහු මේ දිනවල සිටින්නේ ප්‍රංශයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමිනි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඡන්දය සංවිධානය කිරීම සාගර කාරියවසම් නියෝජ්‍ය සංවිධායකවරයාට පවරා රණතුංග මහතා විදේශ ගත වූ බව වාර්තා විය.

කෙසේවුවද, දේශපාලන විචාරකයන් පවසන්නේ රණතුංග මහතා මේවන විට ඔහුගේ සහෝදරයා වන අර්ජුන රණතුංග කිට්ටුවෙන්ම ඇසුරු කරන වත්මන් ජනපති රනිල් වක්‍රමසිංහ මහතා නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට සූදානම්ව සිටින බවයි.

ඔහු එජාපයට එක්වන්නේ නම් ඔහු සමඟ පොහොට්ටු පක්ෂයේ තවත් ප්‍රබලයින් කිහිප දෙනෙකු එකතුවීමට සූදානමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version