Connect with us

පුවත්

PTA අහෝසි කරන්නැයි එ.ජා. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ඉල්ලයි

Published

on

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුව් මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙස තමා ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර, ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතු බවයි.

“සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වනු ඇතැයි ද ඔහු බලාපොරොත්තු වන බව ටර්ක් මහතා පැවසීය.

ජනපති ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දෙනවා

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk)  මහතා ප්‍රකාශ කළේය.

මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් තිබෙන නව දේශපාලනික සහ සමාජයීය පරිවර්තනය අගය කළ මහ කොමසාරිස්වරයා, උතුරේ සහ දකුණේ සියලු ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව සඳහන් කළේය.

තමා මෙරට සිදු කළ සංචාරයේදී ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් පවතින නව පරිවර්තනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බව සඳහන් කළ වොල්කර් ටර්ක් මහතා අද රටේ සියලු ජනතාව යහපත් අනාගතයක් පිළිබඳ නව බලාපොරොත්තු තබා සිටින බව තම විශ්වාසය බවද පැවසීය.

අතුරුදන් වූවන්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. උතුරේ සහ දකුණේ අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ වේදනාව එක හා සමාන බවත්, ඔවුන් සියලුදෙනා රජය කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉටු වනු ඇතැ’යි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරන බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් ජනතා අපේක්ෂා සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අදාළ ආයතන අපොහොසත් වූ බැවින්, අතුරුදන් වූවන්ගේ ගැටලුව විසඳීමට එම ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමේ සහ ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අතුරුදන් වූවන් පිළිබඳ ඒ අත්දැකීමට මුහුණ දුන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමාට අවබෝධයක් ඇති බවයි.

රට තුළ ජාතික සමගිය සහ සංහිදියාව තහවුරු කිරීමට මෙන්ම මානව හිමිකම් සුරැකීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තම රජය කැප වී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම මේ අවස්ථාවේදී රජයේ ප්‍රමුඛ අරමුණ බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවතින අභියෝග ඉතා හොඳින් අවබෝධ කර ගනිමින් එම අරමුණ  සඳහා කැප වී සිටින බවත්, එහිදී ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මෙම සැබෑ තත්ත්වය ලෝකය හමුවට ගෙන යමින්, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළට ඔසවා තැබීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ආන්ඩ්‍රේ ෆ්‍රාන්ෂ් (Marc-André Franche), මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ආසියා-පැසිෆික් අංශයේ ප්‍රධානි රෝරි මන්ගෝවන් (Rory Mungoven), මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරි ඉලේන් චෑන් (Elaine Chan), එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක ලයිලා නසරාලි (Laila Nazarali), සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරී අසම් බකීර් මාකාර් (Azam Bakeer Markar), ජනමාධ්‍ය සහ තොරතුරු නිලධාරී ඇන්තනී හෙඩ්ලි (Anthony Headley) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.

පුවත්

ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා

Published

on

By

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම විදේශ සෘජු ආයෝජනය (FDI) වන හම්බන්තොට සිනොපෙක් හි ඩොලර් බිලියන 3.7 ක ආයෝජන ව්‍යාපෘතියට ගිවිසුම්ගතව මාස හයක් ගතවී ඇතත් තවමත් අවිනිශ්චිතව පවතින බව වාර්තා වේ.

මෙම වසර මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං වෙත කළ රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රමුඛ චීන ජාත්‍යන්තර ඛනිජ තෙල් සංස්ථාවක් වන සිනොපෙක් අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කරන ලදී.

මෙම ඩොලර් බිලියන 3.7 ක ආයෝජනය යටතේ බැරල් 200,000 ක ධාරිතාවයකින් යුත් අති නවීන තෙල් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට නියමිතය. 

පිරිපහදුවේ නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් අපනයනය සඳහා සැලසුම් කර ඇති අතර එමඟින් ජාතියේ විදේශ විනිමය ඉපැයීම් තවදුරටත් ඉහළ නංවයි. 

චීනයෙන් ලැබෙන මෙම ප්‍රධාන ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන අතරම හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නංවාලීමට අපේක්ෂා කෙරේ. 

එපමණක් නොව, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ නුදුරු අනාගතයේ දී සමස්ත ශ්‍රී ලාංකික ජනගහනයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කර තිබිණි.

මේ ගැටුම ඇතිව ඇත්තේ ඇත්තේ සිනොපෙක්ට එහි පිරිපහදු කළ නිෂ්පාදන දේශීය වෙළඳ පොළට ඉදිරිපත් කළ හැක්කේ 20%ක් පමණක් ලෙස සම්බාධක පැනවීම නිසා බව පැවසේ.

කෙසේවුවද, සිනොපෙක් සඳහා දේශීය වෙළඳපොළ කොටස පිළිබඳ තවමත් එකඟතාවයක් ඇතිව නොමැති බවද පැවසේ.

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අනවබෝධ අවසන් කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ෂැංහයි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනවල දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සහ අධ්‍යක්ෂ මහාචාර්ය ලියු සොන්ගි මීට පෙර පැවසුවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිනොපෙක් මෙහි බාධකවලට මුහුණ දෙන බවයි.

මූලාශ්‍රය – ඩේලි මිරර්

සබැඳි පුවත්

හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන්න චීනය හා ගිවිසුමක් (වීඩියෝ)

සිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය ජුනි සිට වැඩ අල්ලයි

“අනුර ගෙනාපු චීන ආයෝජනය මුලින්ම ගේන්න හැදුවේ මහින්ද”

Continue Reading

පුවත්

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 2ක් අතුරුදහන්

Published

on

By

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇත.

ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්ථා වේ.

ඔවුන් ධීවර කටයුතුවල නිරතවී ආපසු එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.

බේරාගත් ධීවරයින් දෙදෙනා මේ වන විට තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

පෙර දිනත් ධීවර යාත්‍රා 3ක් අනතුරකට පත්වෙයි

මේ අතර ඊයේ (28) දිනයේද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්විය.

ඒ අනුව ඊයේ උදෑසන දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගනු ලැබූ අතර තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එක් ධීවරයෙක් තවමත් අතුරුදන්ව තිබේ.

කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් දෙදෙනෙකු ඉන් අතුරුදන්ව තිබුණි.

හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද ඊයේ පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරට පත්ව තිබුණි.

අනතුරට පත්වන අවස්ථාවේදී ධීවරයින් 6 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති අතර ඔවුන් දිවි බේරා ගැනීමට සමත් විය.

Continue Reading

පුවත්

යාපනේ ජනාධිපති මන්දිරයට අයිතිකාරයෝ අටක් !

Published

on

By

යාපනය ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළි වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මන්දිරයේ ඉඩමට අයිතිකරුවන් අට දෙනකු ඉදිරිපත්වීම හේතුවෙන් එම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි ද පැවසේ.

 මෙම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට පෙර ඉඩමේ අවුල් සියල්ල නිරවුල් කරගත යුතු බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා මාධ්‍යට පවසා ඇත.

ඉඩමේ අවුල් නිරවුල් කරගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කර තිබේ.

යාපනයේ ජනාධිපති මන්දිරය විවිධ ආයෝජන සඳහා ලබා ගැනීමට කැනඩාවේ ආයෝජකයෙකු ඇතුළු පිරිසක් දැනටමත් ඉදිරිපත්ව ඇතැයි ද පැවසේ.

2010 2015 අතර කාල සීමාවේදී ඉදිකර ඇති යාපනය ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අක්කර තිහක පමණ භූමිභාගයකය.

එම ඉඩමේ අක්කර පහළොවක් පුරා ගොඩනැගිලි ඉදිකර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved