පුවත්

SDIG රන්මල්ට අපරාධ නඩුවක් ගොනුකරන්නැයි නියෝගයක්

Published

on

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) නීතිපතිවරයාට නියෝග කළේය.

ඒ රන්මල් මහතා ඇතුළු පිරිස කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන මිශාර රණසිංහ නැමැත්තෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන නිරුවත් කොට ලිංගික හිරිහැරවලට භාජනය කර අමානුෂික ආකාරයෙන් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු ඇතුළු වග උත්තරකරුවන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ජාතික පොලිස් කොමිසමටද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළ අපරාධ විමර්ශනය තම පෞද්ගලික අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය.

වග උත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවමත් සේවයේ යෙදී සිටින අයෙකු බැවින් බලපෑම් වලින් තොරව අදාළ විමර්ශනය සිදුකිරීමට වග බලා ගතයුතු බවත් අදාළ විමර්ශනය සිදු කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් විය.

මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරුන් අටදෙනා අතුරින් එක් අයෙකු වන රන්මල් කොඩිතුවක්කු මේ ආකාරයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට නොගැලපෙන අයුරින් අමානුෂික ආකාරයෙන් කටයුතු කළේ කෙසේ දැයි ප්‍රශ්න කළ විනිසුරු යසන්ත කෝදාගොඩ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියෙකු මේ ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් විවෘත අධිකරණයේ සඳහන් කළේය.

පහරදීමට ලක්වූ පෙත්සම්කරුට සිදුකළ ප්‍රතිකාර පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිරිඇල්ල දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය නිලධාරියාට නියෝග කරන ලදී.

මෙම පෙත්සමට අදාළ විරෝධතා සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ලබන වසරේ මාර්තු මස 4 වනදා සිදු කරන බවත් නියෝග කළේය.

පෙත්සම්කරු කියා සිටිනේ තමා එක් දරු පියෙකු බවත් 2021 වසරේ ඔක්තෝබර් මස 30 වනදා තමා නිවිතිගල ප්‍රදේශයට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිය වාහනය හරස් කොට බාධා සිදු කළ බවයි.

පසුව වාහනයේ දොර අරින ලෙස තමන්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බලකළ බවත් පසුව පහර දුන් බවත් සඳහන් කරන පෙත්සම්කරු මෙම සිද්ධිය තමා ජංගම දුරකථනයෙන් පටිගත කළ අවස්ථාවේදී පොලිස්‌ නිලධාරියෙකු එය බලහත්කාරයෙන් පැහැර ගත් බවත් කියා සිටියේය.

පසුව වග උත්තරකරුවන් විසින් පෙත්සම්කරු කිරිඇල්ල පොලිසියට රැගෙන ගිය අතර ඔහු සන්තකයේ තිබූ සියලු භාණ්ඩ පොලිසිය භාරයට ගනු ලැබූ බවත් පසුව වග උත්තරකාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ උපදෙස් මත එහි සිටි නිලධාරීන් තමන්ට පහර දුන් බව පෙත්සම්කරු චෝදනා කරයි.

පසුව තමන්ට ලිංගික හිරිහැර සිදුකළ බවත් එදින රාත්‍රියේම මුදා හැරීමට කටයුතු කළ බවත් පවසන පෙත්සම්කරු පසුව තමා මුල්ලේරියාව රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබාගත් බව කියා සිටියේය.

මෙම සිද්ධිය තුළින් සිය මූලික මිනිසා අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සන්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටී.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් නව දෙනෙකු සහ නීතිපතිවරයා නම් කර තිබේ.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පෙනී සිටි අතර වග උත්තරකාර රන්මල් කොඩිතුවක්කු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගඩ පෙනී සිටියේය.

Trending

Exit mobile version