පුවත්

පොහොට්ටුවේ තවත් පෙති හැලෙයි!; 08 දා ආණ්ඩුව වැටෙන දා වෙයි?

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් පක්ෂයෙන් ගැලවී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ආණ්ඩුවට එක්ව කැබිනට් සහ රාජ අමාත්‍යධූර දරන කිහිප දෙනකු එහි මූලිකත්වය ගෙන සිටින බව ද ආරංචිමාර්ග වලින් පැවසේ.

මෙම පිරිසට එක්වීමට දැනට තනතුරු නොමැතිව සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එකඟවී ඇතැයි පැවසේ.

ඊළඟ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සමග සෘජුව සම්බන්ධ නොවී වෙන ම කණ්ඩායමක් ලෙස එජාපය සමග සන්ධානගත වීමේ අරමුණෙන් මේ පිරිස මෙලෙස එකතුවී ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම මෙන්ම, අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමද මේ වන විට වෙනම කණ්ඩායම් ලෙස කටයුතු කරයි.

අයවැය පරදින ලකුණු

මේ අතර, ලබන දෙසැම්බර් මස  08 වැනිදා අයවැය ලේඛනය  පරාජයට පත්වී ආණ්ඩුව බිඳ වැටීමේ බරපතළ අනතුරක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (29) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

විසි එක් වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට  ඡන්දය දීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අයවැය ලේඛනය පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදීද  ඒ ආකාරයටම කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවත්  එසේ වුවහොත් අයවැය පරාජයට පත්වී ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා බල කෙරෙන අවස්ථාවක් නිර්මාණය විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්ද විමසීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඇමැති ධුර මෙන්ම තම පවුල්වල සාමාජිකයන්ට සහ හිතවතුන්ට ආණ්ඩුකාර ධූර  ලබා ගැනීමට  මේ දිනවල අරගල කරමින් සිටින තත්වයක් පෙනෙන්නට ඇතැයිද  ඔහු කීවේය.

ආණ්ඩුවට දැනට ඇත්තේ මන්ත්‍රීවරුන් 8ත් 12ත් අතර බහුතරයක් පමණක් බව  පැවසූ චන්න ජයසුමන මහතා ආණ්ඩුවේ සුළු කොටසක් හෝ ඡන්දය දීමෙන් වැලකී සිටියහොත් නියත වශයෙන්ම අයවැය පරාජයට පත්වන බවද  ප්‍රකාශ කළේය.

මේ අතර ආර්ථිකමය වශයෙන් ප්‍රබල වම පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව, රජයේ සහ පෞද්ගලික සේවකයන් ඇතුළු  ජන කොටස් අමතක කර කොටසකට පමණක් මෙවර අයවැය ලේඛනයෙන්  සහන සැලසුව හොත්  සහ  ආර්ථිකයේ යහපත්  දිශානතියක් නොපෙන්වා සිටියහොත් එම ලේඛනයට කිසිසේත්ම සහාය නොදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version