Connect with us

පුවත්

STF නිලධාරීන්ට එල්ලවූ චෝදනා නිෂ්ප්‍රභ කෙරේ

Published

on

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුට වෙඩිතබා ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට එල්ලවු චෝදනා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නිෂ්ප්‍රභ කලේය.

ඒ, එම නඩුව ඊයේ විභාගයට ගැනුණු අවස්ථාවේදීය.

බලපිටිය බණ්ඩාරවත්ත ගුරු විදුහල් ක්‍රීඩාංගණය අසල කැළෑ රොදක් තුළ ගිනිඅවියක් පෙන්වීමට ගිය අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදුකළ බවට චෝදනා එල්ලවිය.

2022 වර්ෂයේ ඔක්තෝබර් 11වනදා ගාලු පාරේ අහුන්ගල්ල තරු පන්තියේ සුපිරි හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධව 2022 ඔක්තෝබර් 12 වනදා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු සඟවා තිබූ ගිනිඅවියක් පෙන්වීමට යෑමේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සඟවා තිබූ ගිනිඅවිය රැගෙන වෙඩිතැබීමට තැත්කර ඇතැයි වාර්තා විය.

එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ සැකකරු බලපිටිය මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි මහේෂ් ඉන්දික නමැති පුද්ගලයෙකි.

මේ සිද්ධිය සම්බන්ධ නඩුව බලපිටිය මහාධිකරණයේදී විභාග වෙමින් පවතින අතරතුර මියගිය සැකකරුගේ ඥාතීන් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ මහතාට එරෙහිව ඔහු විසින් තම ඥාතියා වෙඩිතබා ඝාතනය කළ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක කොළඹගේ මහතා අත්අඩංගුවට ගැනීමටද අධිකරණය නියෝග ලබාදුන් අතර මෙම නඩුව බලපිටිය මහාධිකරණයේ විභාග වෙමින් පැවතුණි.

මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරුණු විමසූ අතර නීතිපතිවරයා විසින් ලිපියක් මගින් අධිකරණයට දැනුම්දී තිබුණේ මෙහි කිසිදු පුද්ගලයෙකුට අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති බවය.

ඒ අනුව මෙම නඩු විභාගය දෙසැම්බර් 10 දක්වා එනම් ඊයේ දිනය දක්වා කල්තබා තිබුණි.

බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නඩුව කැඳවූ අතර එහිදී බලපිටිය මහෙස්ත්‍රාත් ආර්. ඩී ජානක මහතා මෙම නඩුව නිෂ්ප්‍රභ කලේය.

පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවෙන් මියගිය සංවිධානාත්මක අපරාධකරු වන මහේෂ් ඉන්දික ප්‍රභාත් හෙවත් ඇඹිලිපිටිය පොඩි ඉන්දික නමැත්තාගේ අනියම් බිරිඳ වන පියුමි වත්සලා නමැත්තියට එරෙහිව බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන් වූ නඩුව ද ඊයේ දින කැඳවන ලද අතර එය මාර්තු 25වනදා දක්වා කල් තැබුණි.

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading

පුවත්

බාර් ලයිසන් ලබාදීම ගැන හිටපු ජනපති රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Published

on

By

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම මඟින්  මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.

ඉකුත් වසරේ ජනාධිපතිවරණය කැඳවූ දා සිට ජනාධිපතිවරණය පැවති දින දක්වා කාලසීමාව තුළ මෙන්ම ඉකුත් වසර තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර ඇත.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මාතලේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන තංගවේලු ධනේන්ද්‍ර රාජා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ,  එම අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන,  හිටපු සුරා බදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සංජීව ජයවර්ධන සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, ඉකුත් වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ජුලි මස 26 වන සහ ජනාධිපතිවරණය පැවැති සැප්තැම්බර් මස 21 වන දා අතර කාලසීමාව තුළ වග උත්තරකරුවන් විසින් නීතියට පටහැනි ආකාරයට අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කර තිබෙන බවය.

හිටපු අමාත්‍යවරයක් වන ශාන්ත බණ්ඩාර මහතාගේ 19 හැවිරිදි පුත්‍රයාට ද මේ යටතේ මත්පැන්හල් බලපත්‍රයක් නිකුත් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරු  දේශපාලකයින්ගේ හිතවතුන්ට හා ආධාරකරුවන්ට මෙලෙස මත්පැන්හල් බලපත් නිකුත් කර තිබෙන බවඳ සඳහන් කළේය.

ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකර ඇති බැවින් මේ පිළිබඳව බලපත්‍රලාභී මත්පැන් හල්හිමියන්ගේ සංගමය විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබූ බව ජනාධිපති නීතිඥවරු පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් කාලාවරෝධී වීමෙන් පසුව ඉදිරිපත් කර තිබෙන බැවින් මේ තුළින් පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කර තිබෙන බවට චෝදනා කළේය.

එමෙන්ම මෙම නඩුකරයට පාදක වන සුරා බදු රෙගුලාසි අහෝසි වී මේවනවිට නව රෙගුලාසි නිකුත් කර තිබෙන බව ඇය සඳහන් කර තිබේ.

අනතුරුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  පෙත්සම් විභාගය නොවැම්බර් මස 19 වන දා සිදුකිරීමටද දින නියම කර තිබේ.

Continue Reading

පුවත්

දේශබන්දු යළිත් පාර්ලිමේන්තු කමිටුව හමුවට

Published

on

By

නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිදේශබන්දු තෙන්නකොන් මහතාගේ පාර්ශ්වය වෙත ලබා දීම සිදුකර තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් ක‍ළේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවේදී මෙය සිදුකෙරුණු බවය.

මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී රැස්වුණි.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතාගේ නිවසටම ගොස් පසුගිය සති අන්තයේ දී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ 12ක් ලබා දීමට කටයුතු කළ බවය.

එමෙන්ම සාක්ෂිකරුවන් 10කගේ දිවුරුම් ප්‍රකාශ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදුන් අතර, ඉතිරි දිවුරුම් ප්‍රකාශ එළඹෙන කමිටු වාරයකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය ඉල්ලා සිටියේ පෙර එකඟවූ පරිදි සියලු සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ තම පාර්ශ්වය වෙත ලබා දෙන ලෙසය.

පසුව දෙපාර්ශ්වයේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තවත් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ 6ක පිටපත් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදීම යෝග්‍ය බව කමිටුව පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟත්වය පළ වීමෙන් අනතුරුව තවත් දිවුරුම් ප්‍රකාශ 2ක් දෙපාර්ශ්වයටම පහසු දිනයක සහ වෙලාවක පෞද්ගලිකව පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ කියවීමට කමිටුව අවසර දී ඇති බව සඳහන්ය.

තවත් එක් සාක්ෂියක් ලෙස ලබා දී ඇති මාධ්‍ය සාකච්ඡාවක සංයුක්ත තැටියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීමටද පරීක්ෂණ කමිටුව තීරණය කළ අතර නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් එය ලබා දීමට කටයුතු කර තිබේ.

මෙම සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම එළෙඹෙන 9 වැනිදා පස්වරු 2.00ට පරීක්ෂණ කමිටුව රැස්වී සිදුකිරීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved