Connect with us

පුවත්

‘Visit Sri Lanka’ නමින් නව සංචාරක සැලැස්මක් ඉදිරි මාස කිහිපය තුළ

Published

on

රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති  Bocuse d’Or 2023 තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට  එක් වෙමිනි.

ශ්‍රී ලංකාව පුරා විසිරී  සිටින සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාව නිර්මාණ කිරීම Bocuse d’Or 2023 තරගය මගින් සිදු වේ.

Bocuse d’Or 2023 තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

ඉන්දියාවේ ඇස්තමේන්තු පෙන්වා දෙන ආකාරයට  ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයන් මිලියන 10ක් පමණ ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත්, ඉන් බහුතරයක් ආසියානු සහ ඉන්දියන් සාගර කලාපයේ සංචාරකයින් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ තරග කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අවශ්‍ය වන  අතර, ඉවුම් පිහුම් කලාවේ විවිධත්වයක් ඇති, ඝර්ම කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව රජය හඳුනාගෙන ඇති බැවින් මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ දී සූපශාස්ත්‍රය උපරිමයෙන් දායක කර ගැනීමට අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ‘Dilmah Tea’ හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා  ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉටුකළ මෙහෙවර ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  :

අද මෙම සභාවේ හිස් තැනක් තිබෙනවා. එය අප සියලුදෙනාටම දැනෙනවා. මෙරට සංචාරක කර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ මෙරිල් ප්‍රනාන්දු මහතා නොමැතිව අද අප මෙහි හමු වන්නේ පළමු වරටයි.

ඔහු මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය අපට අමතක කළ නොහැකියි. මම 2002 වසරේ අගමැතිවරයා ලෙස සිටින සමයේ ඒඩ්‍රියන් සේගා මෙරටට පැමිණි අවස්ථාව මට මතකයි. අපේ සංචාරක ව්‍යාපාරය පුළුල් කරන්නේ කෙසේද කියා ඔහු කතා කළා.

ඒ වගේම මෙරටට පැමිණි ජෙෆ්රි ඩොබ්ස්, බුටික් හෝටල් සංකල්පය පිළිබඳ කතා කළා. මෙම බුටික් හෝටල් සංකල්පය හරහා මෙරට වැවිලිකරුවන්ගේ “බංගලා”, බුටික් හෝටල් බවට පත් කරන්නේ කෙසේද යන්න කතා කිරීමට පටන් ගත්තා. මෙරිල් ක්‍ෂේත්‍රයේ නොසිටියත් එය අනුගමනය කළා.

ඉන්පසුව මම මැතිවරණයෙන් පරාජය වුණා. නැවත බුටික් හෝටල් බලන්න හැකිවෙයි කියා මම හිතුවේ නැහැ. දවසක් මෙරිල් ඇවිත් මට කිව්වා “මම ‘Tea Trails’ පටන් ගන්නවා” කියලා. ඔහු මට මුලින්ම බුටික් හෝටලයකට ආරාධනා කළා. අප සියලුදෙනාට ආඩම්බර වියහැකි ප්‍රමිතියකින් ඔහු එය ස්ථාපිත කර තිබුණා. එබැවින් ඔහු මෙරට තේ කර්මාන්තයට පමණක් නොවෙයි, සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ද ලබාදුන් දායකත්වය අපට අමතක කළ නොහැකියි. ඔහු කල්කුඩාවේ සූපශාස්ත්‍ර පාසලක් ද ආරම්භ කළා.

මම හිතන්නේ දේශපාලනඥයෙක් ලෙස මම වාසනාවන්තයි. අවුරුදු 40ක් තිස්සේ මම රට වටේ යන විට විවිධ කෑම වර්ග භූක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා . ඊයේ මම අනුරාධපුරයට ගියා.  අපට ඉතා රසවත් වැව් මාළු ව්‍යංජනයක් භුක්ති විඳීමට අවස්ථාව ලැබුණා. කාලයකට පෙර මට ත්‍රිකුණාමලයේ රසවත් බුරියානියක රස බලන්න ද ලැබුණා.

හෝටල්වලින් පිට සනීපාරක්ෂක පහසුකම් එතරම් හොඳ මට්ටමක නොතිබූ මීට වසර 40කට පමණ පෙර සිදුවීමක් මට සිහිපත් වෙනවා.  අප දවසක් බටහිර වෙරළ තීරයේ හොඳම කකුළුවන් ව්‍යාංජනය තිබූ කල්පිටිය අවන්හලක් වෙත ගියා. මමත් සමඟ තවත් කිහිප දෙනෙකු මේ සඳහා එක්ව සිටියා. ඇත්තමට ඒ කකුළුවන් ව්‍යාංජනය ඉතා රසවත්. අනතුරුව අප මුහුදු පැලෑටි ජෙලි එකක් කෑමට ගත්තා. මෙම මුහුදු පැළෑටි ජෙලි පෘතුගීසීන්ගේ වට්ටෝරුවක් අනුව මුස්ලිම් කාන්තාවන් විසින් පිසිණු ලැබූවක්. ඉතින් කල්පිටියට ගියොත් මුහුදු පැළැටි ජෙලි හදන ආකාරයත් ඉගෙන ගන්න පුළුවන්.

මම ආහාර ගෙන එතැනින් පිටතට ඒමට පෙර ඔවුන්ගෙන් ඇහුවා “ඇයි සුදු මේස රෙද්දක් නැතිව කහ පැහැති රෙද්දක් දාලා තියෙන්නේ” කියලා . ඔවුන් මට කිව්වේ මේස රෙදි කාලෙකින් ලොන්ඩරියට දැම්මේ නැහැ කියලා. ඉතින් මෙම අවදානම තිබුණත් මෙම අත්දැකීම් ලබා ගැනීම වැදගත් වෙනවා.

අප දැන් රටක් ලෙස අලුත් ගමනක් යා යුතුයි. අප බංකොලොත් භාවයෙන් මිදීමෙන් පසු අපට ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ හැමදේම පහසුවෙන් ලබාගත නොහැකියි. ඇතැම් ණය ආපසු ගෙවීමේ දී කොන්දේසි තිබෙනවා. මෙම මුදල් උපයා ගැනීමට හැකි අයුරින් අපගේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරගත යුතුයි.

අපේ රටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයින් මිලියන 2.5 ප්‍රමාණවත් වන්නේ නැහැ. අප දැන් වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කරගෙන සිටිනවා. ඉන් මිලියන 2.5ක් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් විය යුතුයි.ඉන්දියානු ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයින් මිලියන 10ක් පමණ ගෙන්වා ගත හැකි අතර  ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ආසියාවෙන් සහ ඉන්දියානු සාගර කලාපයෙන් පැමිණෙන සංචාරකයන්. එබැවින් සංචාරක ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අද මෙම තරගයට සහභාගී වූ මෙහි සිටින තරුණ තරුණියන් අතරින් බොහෝ පිරිසක් තවත් වසර තුනකින් පමණ ශ්‍රී ලංකාව හැර යාමට ඉඩ තිබෙනවා. ඔවුන් මෙරට රඳවා ගැනීමට නම් මාලදිවයිනේ හෝටල්වල ගෙවන වැටුපවත් ඔවුන්ට ගෙවිය යුතුයි. ඔවුන්ට මාලදිවයිනේ හෝටල්වල ගෙවන වැටුප ලබාදීමට නම්, ඔබ මාලදිවයිනේ හෝටල්වලට සමාන මුදලක් අය කළ යුතුයි. එසේ අය කිරීම සඳහා, ඔබ එම හෝටල්වල ලබාදෙන සේවාව ලබාදිය යුතුයි.

අප ඉලක්ක කරන මිලියන 05ක හා මිලියන 10ක සංචාරකයන් දෙස බැලීමේ දී, ඒ අතර විවිධ වර්ගයේ සංචාරකයින් සිටිය හැකියි. සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරයක් සඳහා අපේ රටට හොද පසුබිමක් තිබෙනවා. අපේ සංචාරක ක්ෂේත්‍රය තුළ සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරන්නේ නම් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ආසියාවෙන් අපේ රටට පැමිණෙනවා. අප ඒ පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි.

ඒ සඳහා අප වැඩි වශයෙන් කාර්ය මණ්ඩල පුහුණු කළ යුතුයි. ඒ සඳහා අප සූදානම් විය යුතු අතර හෝටල් පාසල් වැඩිදියුණු කිරීම සඳහා ද අප අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් සූපශාස්ත්‍ර පාසලක් ආරම්භ කිරීමට ද රජය බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුව තනිව මේ සියලු දේ කරන තුරු බලා නොසිටිය යුතුයි. මේ සඳහා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍යයි. ඒ වගේම දැනට විවිධ ප්‍රදේශවල රජයේ සහ පෞද්ගලික  සුපශාස්ත්‍ර පාසල් ක්‍රියාත්මක වෙනවා. ඒ අයටත් සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව අප සොයා බලනවා.

අප Visit Sri Lanka නමින් නව සංචාරක සැලැස්මක් මෙම අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ දී එළිදැක්වීමට අපේක්ෂා කරනවා. එම කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර එම කටයුතු අවසන් වූ වහාම එය එළිදැක්වීම අපේ අරමුණයි.

මෙම තරගය සංවිධානය කළ සහ දීර්ඝ කාලයක් පුරා මෙය පවත්වාගෙන එන ඔබ සියලුදෙනාට මම ස්තූති කරනවා. ඒ වගේම මෙම තරගය සංවිධානය කිරීම පමණක් නොව හොඳ සූපශාස්ත්‍ර පාසලක් ස්ථාපිත කිරීමට ඔබ අපට සහාය වනු ඇතැයි ද මම විශ්වාස කරනවා.  ඒ වගේම මම ඔබ සියලුදෙනාට සුබපතනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොං ෆ්‍රැන්සුවා, , Bocuse d’Or ශ්‍රී ලංකා සභාපති රොහාන් ප්‍රනාන්දුපුල්ලේ,  ඩෙල්මා තේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් සී ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved