Connect with us

පුවත්

ඍජු බදු වලින් ආදායම වැඩි නොකළොත් යළි පෝලිං යුගයට යන්න වෙනවා – ජනපති

Published

on

ණය ප්‍රතිව්‍යුහගතකරණය  සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා මේ බව සඳහන් කළේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද (19) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටේ ආදායම වැඩි නොකර  ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමට නම් අකමැත්තෙන් වුවද අසීරු තීන්දු තීරණවලට එළැඹිමට සිදු වන බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ වැදගත් පියවරක් පසුගිය සතියේ සිදු වුණා. මුදල් රාජ්‍ය ඇමතිතුමා යටතේ කණ්ඩායමක් වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික (ඔක්තෝබර් 07) රැස්වීමට සහභාගී වුණා. ඒ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ලංකාවට ණය ලබා දුන් රටවල් හා ණය ලබාදුන් සමහර පුද්ගලික ආයතන සමඟ රැස්වීමක් පැවැත්වූවා. 75 දෙනෙකුට වැඩි පිරිසක් සෘජුව සහ සූම් තාක්ෂණය ඔස්සේ එම රැස්වීමට සහභාගී වුණා.  

ලංකාවට ණය ලබාදුන් ප්‍රධාන රටවල් 03 වන  ජපානය, චිනය සහ ඉන්දියාව සමඟ පොදු වේදිකාවකට පැමිණ සහන ලබාදීමට ගතයුතු ඉදිරි පියවර කුමක්ද යන්න සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ශ්‍රී ලංකාවත් මේ රැස්වීමේ දී පෙන්වා දුන්නේ, පොදු වේදිකාවක තිබෙන අවශ්‍යතාව. ඉන්දියාව සහ චීනය ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කර පිළිතුරු ලබා දෙන බව දන්වා තිබෙනවා. ඒ වගේම ද්වී පාර්ශ්වික සාකච්ඡාත් අවශ්‍ය වෙන්න පුළුවන් කියලා දැනුම් දී තිබෙනවා.

තවත් රටවල් ගණනාවක් මෙයට සහභාගී වුණා. විශේෂයෙන් අමෙරිකාවේ, භාණ්ඩාගාරයේ සහකාර ලේකම්වරයෙක් මේ සාකච්ඡාවට පැමිණියා. මේ සියල්ල සිදු කිරීමට අපිට අවස්ථාව ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපි ගත් තීන්දු ක්‍රියාත්මක කරන නිසයි.

ලංකා රජයේ ආදායම් පිළිබඳව එක් කාරණයක් මතුව තිබෙනවා. 2015 ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේ ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් අවශ්‍යය බව අපිට දැනුම් දුන්නා.  ඒ වගේම අපි 2017-2018 වර්ෂවල ඒ අතිරික්තය ලබා දුන්නා. නමුත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා එය අඩු වුණා. ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපිට ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් තිබෙන නිසා අපේ ආදායම වැඩිකරගන්න අපිට පුළුවන් වෙයි කියා ඒ අය බලාපොරොත්තු වුණා.

එදා අපේ ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් – 15%ක් අතර ප්‍රමාණයක්. එහෙත් ක්‍රමානුකූලව මෙය 17%-18%කට වැඩි කරගන්න පුළුවන් කියලා තමයි අපි එකඟ වුණේ.

නමුත් 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩු වුණා. එහිදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම්වලින් ඈත් වෙලා ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා.

අපිට රුපියල් බිලියන 600ක්, 700ක් පමණ ඒ වසරේ අහිමි  වුණා. ඒ එක්කම කොවිඩ් වසංගතයටත් අපිට මුහුණ දීමට සිදු වුණා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතු වුණේ මෙම තත්ත්වයයි.

අපේ ප්‍රාථමික අය වැයේ අතිරික්තයත් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දුන්නා.  ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අපිත් එයට එකඟ වුණා.

අනිත් කරුණ තමයි රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% සිට 14.5%ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම. එය එකවර සිදු කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා 2026 වන විට රටේ  දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් දක්වා ආදායම වැඩිකර ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා.

රටේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේ ද කියා පළමුවෙන්ම අපට සිතන්න සිදු වෙනවා. ආදායම අඩු වූ නිසා අපි මුදල් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙකේ දී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්. ඒ නිසා උද්ධමනය 70% – 75%ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වී තිබෙනවා.

මේවා පාලනය කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ආදායම ලබා ගැනීමටත් අවශ්‍යයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති මෙම සාකච්ඡාවලදී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. අපනයන කර්මාන්තවලටත් බදු ගෙවන්න අවශ්‍යයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබුණා.

අපනයන ආර්ථිකයක් තිබෙන රටවල් බදු ගෙවන බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ වගේම ඔවුන් සඳහන් කළේ අපේ පළමුවෙනි අපනයන ආර්ථිකය වුණේ වැවිලි කර්මාන්තය බවත්, බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී තේ, පොල්, රබර් සෑම වැවිලි ක්ෂේත්‍රයකින්ම බදු ගෙවීම සිදු කළ බවත්ය. ඒ නිසා අපි එම ඉලක්කයට ගමන් කරනව නම් බදු ගෙවන්න සිදු වෙයි කියා දැනුම් දුන්නා.

ඒ ගැන දැන් අපනයන ක්ෂේත්‍රය අපෙන් ප්‍රශ්න කර තිබෙනවා. එම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

දෙවන කාරණය පුද්ගලික බදු. අපි වැඩිපුරම බදු ලබාගත්තේ වක්‍ර බදු ලෙසයි. රටේ දුප්පත් සාමාන්‍ය ජනතාවටත් එම වක්‍ර බදු ගෙවීමට සිදු වුණා. අපි සෘජුව ලබාගත් බදු ආදායම 20%යි. 80%ක ප්‍රමණයක් ලබාගත්තේ වක්‍ර බදු වලින්.

විශේෂයෙන්ම ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්න තිබුණා, ඒ අය කිව්වේ සෘජු බදු වලින් ලබාගන්න බදු ප්‍රමාණය 20%කට වඩා වැඩි විය යුතු බවයි. නැත්නම් මෙය සාර්ථක නොවන බවත්, සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ඒ නිසා මෙම ක්‍රමවේදයට අනුවත්, 2026 ඉලක්ක ළඟා කර ගැනීම සඳහාත් මෙම බදු අය කිරීම ලක්ෂ 02ක අදායමක් ලබන අයගෙන් සීමා කළ හැකි ද යන්න පිළිබඳව භාණ්ඩාගාරයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සාකච්ඡා කළා, එහෙත් ඒ අරමුණ ඉටු වුණේ නැහැ. අවසානයේ සිදු වුණේ ලක්ෂයකට වැඩි ආදායමක් ලබන පිරිසගෙනුත් ආදායම් බදු අය කිරීමයි. මේ පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළහොත් අපිට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නොහැකි විය හැකියි. අපි එකඟ වූ ඉලක්කය වන්නේ 2026 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක – 15%ක ආදායමක් ලබා ගැනීමයි. අපි මේ වැඩපිළිවෙළින් ඉවත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපිට ලැබෙන්නේ නැහැ. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබෙන්නේ නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි  ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලත්, සහයෝගය ලබාදෙන අනෙකුත් රටවලත් සහාය අපිට හිමි වන්නේ නැහැ. එහෙම වුණොත් අපිට නැවත පෝලිං යුගයට යන්න වෙනවා.

මීටත් වඩා අසීරු කාලයක් අපට ඉදිරියේදී ඇති විය හැකියි. මෙම ණය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අපි යා යුතුයි. අපි මේ කටයුතු කැමැත්තෙන් කරන්නේ නැහැ. අකමැත්තෙන් හෝ අපිට සමහර තීරණ ගන්න සිදු වෙනවා. ඒවගේම එම තීරණ පිළිබඳ අපි විටින් විට සලකා බලනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගන්නවා වගේම, මහකන්නයේ අපිට හොඳ අස්වැන්නක් ලැබුණාම එයින් ආර්ථික වාසියක් ලබාගෙන ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපිට තිබෙන ආර්ථික පීඩාව අඩු වෙනවා. ඒ වගේම අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මෙම පියවර කිහිපය ක්‍රියාත්මක කළ විට අපිට ඉදිරියට යා හැකියි.

අද අපේ රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටිනවා. ඒ අසීරු කාලයේ අසීරු තීරණ ගන්න වෙනවා. වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක මම ඒ අසීරු කටයුත්ත භාරගත්තා. ඉතින් මම හිතුවා මේ පසුබිම ගැන සියලුදෙනා දැනුවත් කරන්න මට යුතුකමක් තිබෙනවා කියලා. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බව ද සඳහන් කරන්න කැමතියි.

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved