ප්‍රංශ පොලිසිය අත්අඩංගුවට ගත් සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලානේ කුඩු අංජු නැමැත්තා මෙරටට පිටුවහල් කිරීමෙන් වළක්වා ගැනීමට ඔහුගේ අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික සුරූපිනිය නීතිඥ මණ්ඩලයකගේ සහය පතා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ වන විට රිමාන්ඩ් බාරයට පත් කර සිටින කුඩු අංජු නැමැත්තා මෙම මස 4 වැනිදා යළිත් ප්‍රංශ අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ප්‍රංශ අධිකරණයක් හමුවට කුඩු අංජු නැමැත්තා ලබන 4 වැනිදා ඉදිරිපත් කරන අවස්ථාවේ මෙම නීතිඥ මණ්ඩලය ඔහු වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
කුඩු අංජු අදාළ ප්‍රංශ ජාතික සුරූපිනිය සමග කලක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව පැවසෙන අතර ඔහු ඇය සමඟ විවාහ වීමට ශ්‍රී ලාංකික විවාහක බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.
කෙසේවුවද, අංජුගේ විවාහක බිරිය දික්කසාදය ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසේ.
මෙම හේතුව මුල්කරගනිමින් අඹුසැමි යුවළ අතර නිතර ගැටුම් ඇති වෙන බවත්, ඇතැම් අවස්ථාවල කුඩු අංජු නැමැත්තා සිය බිරිඳව කාමරයක දමා සිර කරගෙන ඇයට අමානුෂික ලෙස පහර දෙන බවටත් බුද්ධි අංශවෙත තොරතුරු ලැබී තිබේ.
සැමියාගේ පහරකෑම් ඉවසා සිටීමට නොහැකි වූ බව කියන බිරිඳ ඔහුගේ තතු ප්‍රංශ පොලීසියට දැනුම් දීමෙන් පසු ඉකුත් 27 වැනිදා එරට පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, කුඩු අංජු නැමැත්තා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විධිවිධාන මේ වන විටත් යොදා ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටී.