Connect with us

පුවත්

“රටේ ජනතාවට TIN අංකයක් ලබා දීමට ඇමතිට හෝ කොමසාරිස්ට නීතිමය හැකියාවක් නැහැ”

Published

on

වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුට ටින් අංකයක් ලබා දෙමින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපාදිංචි කිරීමත් එසේ ලියාපදිංචි නොවන පිරිස් සඳහා රුපියල් 50,000ක දඩයක් නියම කිරීමටත් වන ජනාධිපතිගේ ගැසට් නිවේදනයේ ඇති අනීතික බව පෙන්වමින් මෙන්ම එය අභියෝගයට ලක් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්.එම්.එම් මිෆ්ලි මාධ්‍යවේදී ගුණසිංහ හේරත් වෙත ලබාදී ඇති සාකච්ඡාවක් ඇසුරින් “ආණ්ඩුවේ ටින් අංකය” යන සිරස්තලයෙන් සම්පාදනය කළ ලිපියක් ලංකාදීප පුවත්පතේ පල කොට තිබේ.

එම සම්පූර්ණ ලිපිය උපුටාගෙන පහතින් දැක්වේ.

“අවුරුදු 18ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේනයේ සඳහන් වෙයි. ඒ නියෝගය 2024 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව ද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. මුදල් අමාත්‍යවරයා ඒ නියෝගය කරන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ බවද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ඒ ගැසට් නිවේදනයට අනුව වයස අවුරුදු 18ට වැඩි සියලු‍ දෙනා 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුමය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (TIN) ද අනිවාර්යයෙන්ම ලබාගත යුතුය. එසේ ලියාපදිංචි නොවන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරන බවත් ඔවුන්ට රුපියල් 50,000 නොඉක්මවන දඩයක් නියම කරන බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කියයි.

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය සම්බන්ධයෙන් රජය වෙනත් තීරණ දෙකක් ගෙන තිබේ. ඒ තීරණ කරළියට පැමිණියේ 2024 අය වැය යෝජනා මගිනි. ඒ තීරණ දෙකෙන් එකක් වන්නේ ඉඩම් හෝ වාහන අනෙකුන්ට පැවරීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමය. එසේම බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කිරීමේ දී ද බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබේ. ඒ තීරණය 2024 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව දැන් කියයි.

2024 අය වැයෙන් කරළියට ගෙනා අනෙක් තීරණය වන්නේ අවුරුදු 18ට වැඩි සියලු‍ම නේවාසිකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්යය කර තිබීමයි. ආණ්ඩුව කියන හැටියට රටේ නේවාසිකයන් සියලු‍ දෙනා එසේ කළ යුත්තේ තමන්ට වයස අවුරුදු 18 පිරීම නිසාය. නැතිව ආදායම් ඉපයීම හෝ සේවා ලබා ගැනීම යනාදි වෙනත් හේතුවක් හෝ හේතු නිසා නොවෙයි. මේ තීරණය ගෙන තිබෙන්නේ දේශීය ආදායම් පනතේ 102 (3) වගන්තිය යටතේ බව 2023 මැයි 31 වැනිදා මුදල් අමාත්‍යවරයා නිකුත් කළ 2334/21දරන ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ඒ ගැන සඳහන් වන්නේ ඒ ගැසට් පත්‍රයේ ‘‘ආ”‍ කොටසේ ය. ඒ ගැසට්ටුවේ ‘‘අ”‍ කොටසේ සඳහන් පරිදි ‘‘යම් ආයතනයක සේවාවක් ලබා ගැනීමේ දී”‍ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කළ යුතු බවට තිබෙන නියමය සමඟ මම එකඟ වෙමි. එහෙත් වයස අවුරුදු 18 පිරීම නිසාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය යන නියමයට අභියෝග කිරීමට මම කැමැත්තෙමි.

රටේ දැනට පවතින නීතිය අනුව වයස අවුරුදු 18ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය කියා නියම කිරීමට හෝ නියෝග දීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට හෝ මුදල් ඇමැතිට දේශීය ආදායම් පනතේ 102 වගන්තියෙන් කිසිදු නීතිමය බලයක් නොපැවරෙයි.

දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු”‍ බවය. ඒ වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය කර තිබෙන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින”‍ පුද්ගලයන්ය. ආදායම් වාර්තාවක් සැපයිය යුත්තේ කවුරුන්දැයි දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ වගන්තියට අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තේ ‘‘ආදායම් බදු අය කිරීමට යටත් වන සියලු‍ පුද්ගලයන්”‍ ය. ආදායම් බදු ගෙවිය යුත්තේ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12කට වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් මිස අවුරුදු 18 පිරුණු සියලු‍ දෙනා නොවෙයි.

දේශීය ආදායම් පනතේ 102 (1) වගන්තියෙහි සඳහන් වන්නේ ‘‘තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සෑම තැනැත්තකුම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ළඟ ලියාපදිංචි විය යුතු”‍ බවය. එහෙයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්යය වන්නේ ‘‘ආදායම් වාර්තාවක් සැපයීමට බැඳී සිටින පුද්ගලයන්”‍ බව ඉතා පැහැදිලිය.

ආදායම් බදු අය කරනු ලබන සියලු‍ පුද්ගලයන් බදු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් පනතේ 126 (1) වගන්තියෙහි සඳහන් වෙයි. ඒ අනුව බදු වාර්තාවක් සැපයිය යුත්තෝ අවුරුද්දකට රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෝය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුත්තේ බදු ගෙවීමේ වගකීමක් සහිත පුද්ගලයන් බව පනතේ 102 වගන්තියෙන් අනාවරණය වෙයි. එහෙයින් පුද්ගලයන්ගේ ආදායම මත නොව ඔවුන්ගේ වයස මත බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුය කීම බලහත්කාරය පෑමකි. එසේ බලහත්කාරය පෑමේ බලයක් රටේ නීතියෙන් අමාත්‍යවරයාට පවරා නැත.

එහෙයින් නීතියෙන් පවරා නැති බලයක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධීය. අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ ‘‘අ”‍ සහ ‘‘ආ”‍ ලෙස කොටස් දෙකකි. අ කොටසේ සඳහන් වන්නේ යම් ආදායමක් ලබන පුද්ගලයන් සහ වෘත්තිකයන් ගැන කියමින් ඔවුන් දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ කීම අභියෝගයට ලක් කළ නොහැකිය. එසේම නීත්‍යනුකූලය. එහෙත් ඒ ගැසට් නිවේනයේ ‘‘ආ”‍ කොටසේ සඳහන් වන්නේ වයස අවුරුදු 18 පිරුණු සියලු‍ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. එසේ නියම කිරීමේ බලයක් අමාත්‍යවරයාට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් රටේ නීතියෙන් පැවරී නැති බලයක් ආරූඩ කර ගැනීම අනීතිකය. නීති විරෝධීය.

අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව යමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රසිද්ධියට පත්කර තිබෙන නිවේදනයක සඳහන් වන්නේ වයස අවුරුදු 18ට වැඩි සියලු‍ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවය. ස්වේච්ඡාවෙන් එසේ නොකරන පුද්ගලයන් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන බවය. එසේම ලියාපදිංචි නොවන සහ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගන්නා පුද්ගලයන්ට රුපියල් 50,000කට නොවැඩි දඩයක් පමුණුවන බවය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ඒ නිවේදනය අනුව වයස අවුරුදු 18ට වැඩි සියලු‍ පුද්ගලයන් එනම් සමෘද්ධි සහ අස්වැසුම සහනාධාර ලබන්නන් සහ පින් පඩි ලබන්නන් සේම යාචකයන් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය. එසේ නොවුණොත් බලහත්කාරයෙන් ඔවුහු ලියාපදිංචි කරවනු ලබති. රුපියල් 50,000කට නොවැඩි අගයකින් දඩ ද ගසති. කොමසාරිස් ජනරාල්ගේ ඒ ස්ථාවරය අනුව දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබානොගන්නා පින් පඩි ලබන වකුගඩු රෝගීන් ඇතුළු ඒ අසරණයන් සේම යාචකයන්ද රුපියල් 50,000කට නොවැඩි දඩයකට ගොදුරු වීමේ අවදානමක් පවතියි.

එහෙත් කොමසාරිස් ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යවරයා මේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ රටේ නීතියෙන් තමන්ට පැවරී නැති ආරූඩ කරගත් බලයකි. එහෙයින් ඔවුන්ගේ ඒ ක්‍රියාව නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වීමේ ඉඩකඩ ඉතා ඉහළය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව අවුරුද්දකට රුපියල් ලක්ෂ 12කට වැඩි ශුද්ධ ආදායමක් ලබන ඕනෑම පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගැනීම සහ ඔහුට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් පිරිනැමීම නීත්‍යනුකූලය. එහෙත් ආදායම නොසලකා වයස පමණක් සලකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය, බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය, එසේ නොක⁣ළහොත් බලහත්කාරයෙන් ලියාපදිංචි කරවන්නේය, රුපියල් 50,000කට නොවැඩි දඩයක් ගසන්නේය කීමේ බලයක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට රටේ නීතියෙන් පැවරී නැත. එහෙයින් එය නැති බලයක් ආරූඪ කර ගැනීමකි. එසේ කළහොත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට යාමේ අයිතියක් සහ හැකියාවක් පුරවැසියන්ට ලැබෙයි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට හැකියාව තිබෙන්නේ පුද්ගලයන්ගේ ආදායම් මට්ටම අනුව ඒ පුද්ගලයන් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගෙන ඔවුන්ගෙන් බදු අය කරගැනීමේ බලයයි. වයස අනුව රටේ ජනතාව ලියාපදිංචි කරගැනීමේ බලය පැවරී තිබෙන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්ට මිස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට නොවෙයි.

ලොව දියුණු රටවල ජනතාවට උපත ලබද්දීම අංකයක් ලැබෙයි. එය පින් (PIN) අංකය ⁣හෙවත් Personal Identification Number නමින් හඳුන්වයි. පාසලකට ඇතුළත් වෙද්දී, රෝහලකින් බෙහෙත් ගනිද්දී, රියැදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර ලබා ගනිද්දී, බැංකු ගිණුමක් ආරම්භ කරද්දී, ඉඩමක් හෝ නිවසක් මිලදී ගනිද්දී යනාදී ජීවිතයේ සෑම කටයුත්තකදීම ඔවුනට ඒ පින් අංකය අවශ්‍ය වෙයි. උපතේ සිට මරණය දක්වාම ඔවුන් ඒ පින් අංකය භාවිත කළ යුතුය. ඒ අංකය දෙන්නේ රජයෙනි.

එහෙත් ලංකාවේ ආණ්ඩුව දෙන්නට යන්නේ පින් අංකයක් නොව ටින් අංකයකි. එය බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් Taxpayer Identification Number නමින් හැඳින්වෙයි. රටේ ජනතාවට ආණ්ඩුව ටින් අංකය දෙන්නට යන්නේ වැරැදි ක්‍රමයකටය. වයස අවුරුදු 18 පිරුණු පුද්ගලයන් කව්ද? ඔවුන් පදිංචිව සිටින්නේ කොහේද?, ඔවුන් කරන රැකියා මොනවාද? යනාදි සියලු‍ තොරතුරු මැතිවරණ කොමිසම සතුව පවතියි. මැතිවරණ කොමිසම සතු ඒ තොරතුරු අවුරුද්දක් පාසා යාවත්කාලීන වෙයි. එහෙයින් අවුරුදු 18 පිරුණු සියලු‍ පුද්ගලයන්ගේ තොරතුරු මැතිවරණ කොමිසමෙන් ලබාගත හැකිය. දේශීය ආදායම් බදු පනතට එක් කළ සංශෝධනයකට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඒ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක ඒ තොරතුරු ලබාදීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටියි.

මුදල් අමාත්‍යවරයා කියන ආකාරයට අවුරුදු 18ට වැඩි සියලු‍ දෙනාට ටින් අංකයක් ගන්න කියන්නේ ඒ සියලු‍ දෙනාගෙන් බදු අය කරගැනීමට නොවෙයි. වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් නඩත්තු කිරීමටය. වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුවද පවතියි. එහෙත් ඒ දෙපාර්තමේන්තුව සතු තොරතුරු යාවත්කාලීන නොවෙයි. අවුරුදු පතා යාවත්කාලීන වන තොරතුරු තිබෙන මැතිවරණ කොමිසමෙන් තොරතුරු රැගෙන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු පද්ධතියක් ඉතා පහසුවෙන් නඩත්තු කිරීමේ හැකියාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටද තිබේ. ආණ්ඩුවට අවශ්‍ය දෙය පහසුවෙන් ඉටු කරගැනීමට අවශ්‍ය තොරතුරු ආණ්ඩුව සතුවම තිබිය දී අනවශ්‍ය ලෙස රටේ ජනතාව බියගැන්වීම අදහාගත නොහැකි අමනෝඥ ක්‍රියාවකි.

වයස අවුරුදු 18ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතු බවට නියෝග කරමින් මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අදටත් වලංගු ය. එය අවලංගු කරගත හැක්කේ අධිකරණ ක්‍රියා මාර්ගයකිනි.”

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved