Connect with us

පුවත්

ෂාෆ්ටර් මැරුණේ සයනයිඩ් ශරීරගත වෙලා!

Published

on

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද (08) කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණි.

එමෙන්ම ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු දැක්වීම අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේදී සිදුකළේය.

මේ අතර ෂාෆ්ටර් මහතාගේ අයි ෆෝන් ඒක්ස් එස් වර්ගයේ ජංගම දුරකථනය සහ අයි පෑඩයේ දත්ත විශ්ලේෂණය කළ බවත් එමගින් වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බවත් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසීය.

ඒ අනුව අදාළ ජංගම දුරකථනයේ සහ අයි පෑඩයේ ෂාෆ්ටර් මහතා තම බිරිඳට සහ බිරිඳගේ මව්පියන්ට සකසන ලද ලේඛන කිහිපයක් සොයාගත් බව ද ඔවුන් සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අයි පෑඩයේ ඇපල් නෝට් හී තිබූ දත්තවල ලිස්ට් යනුවෙන් සඳහන් වූ ලිපියක් තිබූ බවත් ඒහි KCM යන කෙටි නමින් හඳුන්වන ලද වචනයක් සහ ZIP TIE සහ තවත් භාණ්ඩ කිහිපයක ලැයිස්තුවක් තිබූ බවත් අධිකරණයේදී අනාවරණ වුණි.

KCM යන කෙටි නමින් සයනයිඩ් හඳුන්වන බවත් ZIP TIE යනු යම් දෙයක් ගැට ගැසීමට භාවිත කරන ප්ලාස්ටික් පටියක් බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒමෙන්ම THE LIST ලෙස සඳහන් තවත් නාම ලේඛනයක් ඒ තුළ තිබූ අතර එහි පුද්ගලයන් පස්දෙනෙකුගේ නම් සඳහන්ව තිබූ බවත් විමර්ශන නිලධාරීන් පැවසීය.

ඒ අතර මිසිස් මුතුකුමාරණ, ජගත් සෙනෙවිරත්න, ජයරත්න, ඇන්ටන් හේමන්ත සහ ඊලියන් ගුණවර්ධන යන නම් තිබූ බවයි අධිකරණයේදී හෙළිවුණි.

එම පුද්ගලයන්ගේ දුරකථන සහ ලිපිනයක් ද එහි තිබූ බව සඳහන්ව ඇත.

අදාළ නම් පහෙන් අවසන් නම් හතර සඳහන් සිව්දෙනා ‘නැති කිරීමේ අදහසක් ඇතුළත් වැකියක්’ ඒ තුළ තිබූ බව විමර්ශන නිලධාරීන් පැවසීය.

එමෙන්ම බ්‍රයන් තෝමස්ගේ ඡායාරූප ඇතුළත් PDFගොනුක් ද එම අයි පෑඩය තුළ තිබී තිබේ.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ ඒ තුළ ජොසපින් තෝමස් සහ ක්‍රිස්ටියන් තෝමස් යන දෙදෙනාගේ ද නම් තිබූ බවය.

”MOST IMPORTANT WHO IS BEHIND B.T. GET MY MONEY BACK” යනුවෙන් ද එහි සඳහන්ව තිබේ.

එමෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් 15 වන දින අවසානයට දිනේෂ් ෂාෆ්ටර් විසින් ඔහුගේ ලේකම්වරයාට තමන් සිටින ස්ථානය යවා ඇති අතර එය සඳහන්ව තිබී ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය ලෙසටය.

මේ අතර විමර්ශන නිලධාරීන් පැවසුවේ තමන් බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකථනය ද පරීක්ෂා කළ බවය.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් සහ බ්‍රයන් තෝමස් අතර 2019 වසරේ දෙසැම්බර් මස 25වන දින සිට 2022 වසරේ දෙසැම්බර් මස 15 වන දින එනම් දිනේෂ් ෂාෆ්ටර් ජීවත්ව සිටි අවසන් දිනය දක්වා සම්ප්‍රේෂණය වූ වට්ස් ඇපි පණිවිඩ විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අතර ෂාෆ්ටර් මහතා මියගිය දිනයේ පස්වරු 2.48යි තත්පර 50ට තමන්ට ඔහුව හමුවීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කරමින් බ්‍රයන් තෝමස් විසින් ෂාෆ්ටර් මහතාට වට්ස්ඇප් පණිවිඩයක් යවා ඇති අතර ඊට පෙර හමු වූ අවස්ථාවකදී කළ පහරදීමක් ගැනත් එහි සඳහන්ව ඇත.

ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස්ව බොරැල්ල කනත්තට කැඳවීමට උත්සාහ කළ ද ඔහුගේ එම උත්සහය සාර්ථක වී නොමැති බවත් විමර්ශන නිලධාරීන් අධීකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස්ට යැවූ ඇතැම් පණිවිඩ මකා දමා ඇති බවද අධිකරණය හමුවේ අනාවරණ වුණි.

අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අධිකරණය හමුවේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කියවනු ලැබීය.

ඔහුගේ ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් සයිනයිඩ් ශරීරගත වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවත් එහි සඳහන්ව ඇතැයි අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේය.

මූලාශ්‍රය – අද දෙරණ

සබැඳි පුවත්:

ෂාෆ්ටර්ගේ මරණය ගැන ආන්දෝලානාත්මක වාර්තාවක්!

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved