Connect with us

ඡායාරූප සටහන

“ආණ්ඩු ආවා, නායකයෝ ගෙනාවා. අන්තිමේදි ඉස්පිරිතාලවල බෙහෙත්ටික නැතිවුනා”

Published

on

‘රට අනුරට’ මැයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලැබූ ජන රැළිය ඊයේ (29) පොළොන්නරුවේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, ජනතාව දුක් විඳි යුගය අපේ පරම්පරාවෙන් අවසන් කරන බවය.

අනුර දිසානයක මහතා විසින් පවත්වනු ලැබූ සම්පූර්ණ කතාව පහතින්,

“අපේ වැඩිහිටි අය මීට කලින් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. ඒත් අවසානයේ ඉස්පිරිතාලවල බෙහෙත් ටික නැතිවුණා. අධ්‍යාපන පහසුකම් නැති වුණා. ලෝකය ඉදිරියේ බාල්දු වුණු රටක් බවට මේ රට පත්වුණා. අද ණය ගෙවා ගන්න බැරි, ආහාර ටික සපයා ගන්න බැරි ජනතාවක් බවට පත්වී තිබෙනවා. පැරණි ඉතිහාසයෙන් මිදිලා, ලෝකය ඉදිරියේ පිළිගන්නා රටක්, ජනතාවට හොඳ ජීවිතයක්, පොහොසත් රටක් නව ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. සැප්තැම්බර් 21 දා ඔය ආණ්ඩුව හදමු කියලා අපි යෝජනා කරනවා.

අපට තීරණය කරන්න තිබෙන්නේ පැති දෙකයි. රට දුප්පත් කරපු, ඒගොල්ලන් පොහොසත් වුණු පරණ පාර. එහෙම නැතිනම් මේ රට අලුත් දිසාවකට යොමු කරලා, ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්න යෝජනා කරන ජාතික ජන බලවේගයේ පාර. අපි කල්පනා කරන්න ඕනැ මේ දෙකෙන් මොකක්ද අපි තෝරා ගන්නේ කියලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදපුවාම, කවදාවත් අනේ අපොයි කියන්න සිදුවෙන්නේ නැහැ. මේ සැරේ තමයි තීන්දුව හරියට ගත්තේ කියලා සතුටු වෙන්න පුළුවන්. මම හෝ මේ වේදිකාවේ ඉන්න කිසිවෙකු හෝ මේ දේශපාලනය තෝරා ගත්තෙත්, ආණ්ඩු හදන්න ඕන කියන්නෙත් අපට යමක් උපයා ගන්න නොවෙයි. අපට ඕනැ මේ රට පොහොසත් රටක් කරන්න. අපට ඕනෙ මේ රටේ ජීවත් වෙන ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් දෙන්න. ඒ ඇයි? අපේ ගම්වල අම්මලා තාත්තලා මියැදෙනවා රස ආහාර වේලක් මොකක්ද කියලා දන්නේ නැතිව. අපේ දරුවෝ හොඳ පහසුකම් සහිත පාසලක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව ගතවෙනවා. අපේ තරුණ තරුණියන් විශාල ලෙස අවිනිශ්චිතතාවයකට පත්වෙලා තිබෙනවා. සෑම පැත්තෙන්ම වේදනාවට, දුකට පත්වුණු ජනතාවක් ඉන්නේ. මේක අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕනෑ. ඒකට අපි ආණ්ඩුවක් හදමු.  එකින් එක අපි පටන් ගනිමු. රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනෑ. අපිට ආයෝජකයෙක් ආව ගමන් බලන්නේ ඇමතියාට කීයක් දෙනවාද? කියලා. පාරක් හැදුවත් හොරකම් කරනවා, බෙහෙත්වලින් හොරකම් කරනවා. මේ හොරකම ආර්ථිකය වැටීමේ ප්‍රධාන සාධකයක්. හොරකම, වංචාව, දූෂණය නතර කිරීමකින් තොරව  අපේ රට හදන්න බැහැ. ඒ විතරක් නොවෙයි හොරකම් කරපු දේපළ ආපහු ගන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි.

ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේ රටට අවශ්‍යයි. ලෝකයේ දියුණු හැම රටකම නීතිය ඉදිරියේ හැමෝම සමානයි. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියක්, දුප්පත්, බලය නැති අයට තව නීතියක්. මේ නිසා මත්ද්‍රව්‍ය, අපරාධ විශාල ලෙස වැඩිවෙනවා. අපරාධ, මත්ද්‍රව්‍ය ව්‍යාපාර තිබෙන්නේ සංවිධානාත්මකව. මේවා පිටිපස්සේ දේශපාලනය තිබෙනවා. මේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක් යන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. පළමුවෙන්ම අපේ ගම්වල දුප්පත්භාවය නැති කරන්න ඕනෑ. දුප්පත්භාවය කියන්නේ කන්න නැතිකම විතරක් නොවෙයි. දුප්පත්කම නිසාම, නොසැලකීමට ලක්කෙරෙනවා. අධ්‍යාපනය නතර වෙනවා. අපි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා. දුප්පත්භාවයෙන් ගොඩ එන්න තිබෙන එක පාරක්  තමයි  අධ්‍යාපනය. අපි අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කරනවා. අපේ ගුරු පුරප්පාඩු තිබෙනවා. රැකියා නැති උපාධිධාරීන් ඉන්නවා. අපි ආරම්භයේදීම පුරප්පාඩු සඳහා 20,000ක් බඳවා ගන්න සැලසුමක් හදා තිබෙනවා. කිලෝ මීටර් තුනක් ඇතුළත පහසුකම් සහිත පාසලක් හැම දරුවෙකුට ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදනවා. නවය වසර හෝ දහය වසරේදී තෝරා ගැනීමේ විභාගයක් තියනවා. ඒ විභාගය අනුව දරුවයි, දෙමව්පියොයි, ගුරුවරයයි එකතු වෙලා දරුවාගේ දක්ෂතාවය අනුව දරුවාට යන්න තියෙන පාරට යොමු කරනවා. එවැනි පාරවල් ගණනාවකින් දරුවන් ඉස්සරහට ගෙනැල්ලා පාසලෙන්  එළියට එනකොට වෘත්තියවේදියෙක් හැටියට හෝ අධ්‍යාපනයෙන් ඉස්සරහට යන නව අධ්‍යාපන ක්‍රමයක් ජාතික ජන බලවේගය ස්ථාපිත කරනවා. අධ්‍යාපනය තමයි ගමේ දුප්පත්භාවය තුරන් කරන පාර.

අපේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කර ගන්න තිබෙන අනෙක් පාර තමයි කෘෂිකර්මාන්තය නගා සිටුවීම. අපි බීජ පර්යේෂණායතන දියුණු කරලා අඩු වියදම් සහිත හොඳ බීජ ගොවියාට ලබා දෙන්න සැලසුම් කොට තිබෙනවා. ගොවිතැනට අවශ්‍ය වතුර ලබාදීමට සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් පද්ධතිය පිරිසිදු කොට නැවත පැරණි කාලයේ පමණටම ජලය පුරවන්න තරමේ ධාරිතාවෙන් වැඩි කරනවා. මහ කන්නය යල කන්නය පමණක් නොවෙයි අතරමැදි කන්නයක් වගා කරන්න අවශ්‍ය වතුර ප්‍රශ්නය විසඳනවා. යෙදවුම්වලටත් සහනාධාර දීමේ වැඩපිළිවෙළක් අපි සකස් කරනවා. ගොවි ජනතාව ණය බරින් මිරිකිලා ඉන්නේ. අපි ඉතා හොඳින් සමීක්ෂණයක් කරලා, ගෙවා ගන්න බැරි ණය යම් ප්‍රමාණයක් කපා හරින්න අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම අඩු පොලියට ණයක් ලබා ගන්න සංවර්ධන බැංකුවක් අපි ඇති කරනවා.

ඊළඟට, අපි හැමදාම කියනවා වී සහ හාල් වෙළඳපොළේ විකෘතියක් තිබෙනවා. වී මිල තීරණය කරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක්.  ඒගොල්ලන්ට පොළොන්නරුවෙම මිල තීරණය කරන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් පද්ධතියක්ම තිබුණා. ඒ පද්ධතිය කඩා වැටුණා. ලොකු මෝල් හිමියන්ට ණය දීල තමයි පොඩි මෝල් හිමියන්ට ණය දෙන්නේ. ලොකු මොල් හිමියා අඩු මිලට කිරලා, පොඩි මෝල් හිමිය වී කිරන්න එනකොට මිල වැඩි කරනවා. වැඩි කරලා මේ මෝල් පද්ධතියම කඩා වැට්ටුවා. අපි නැවත සුළු හා  මධ්‍ය පරිමාණ මෝල් නඟා සිටුවලා, ඔවුන් මුහුණ දීල තිබෙන මූල්‍ය දුෂ්කරතාවලට වැඩපිළිවෙළක් හදලා තව මෝල් හිමියන් ගණනාවක් නිර්මාණය කරනවා. වී සහ සහල්වල මිලත් සාධාරණ ලෙස තීන්දු කරන්න පුළුවන්. ගොවි ජනතාව ණය උගුලෙන් ගලවා ගන්නවා.

ඉස්සර ලෝකයේ ආර්ථිකය හයිය තිබුණෙ අමු ද්‍රව්‍ය තිබුණ විදිහට. ලෝකයේ ඉස්සරහට වටිනාකම් හැදෙන්නේ දැනුමට. ලෝකයේ හැමතැනම අලුත් ආර්ථික ප්‍රවණතා හැදිලා තිබෙන්නේ නව නිර්මාණවලින්. නව නිපැයුම්වලින්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පර්යේෂණ හා සංවර්ධන අංශය, විද්‍යා හා තාක්ෂණය පැත්ත පුළුල් කිරීම සඳහා සැලසුමක් සකස් කොට තිබෙනවා. අලුත් පර්යේෂණ කරනවා. අලුත් සොයා ගැනීම් කරනවා. ඒවායෙන් නිර්මාණයන් ඇති කරනවා. අපි 2030 වෙනකොට  අයි.ටී. ඉංජිනේරුවන් ලක්ෂ දෙකක් හදනවා. ඒ මානව සම්පත් ගම්වලට ගලාගෙන යනවා. නව ආදායම් මාර්ග ඉපැද්දෙනවා. ගම්වල ජීවිතය උසස් වෙනවා. ඒ වැඩේ කරන්න තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඉල්ලන්නේ. එක පැත්තකින් රට පොහොසත් වෙන්න ඕනෑ. ජනතාවට මුදල් ගලාගෙන එන්න ඕනෑ. අපේ රට දුප්පත් වුණා. පාලකයා පොහොසත් වුණා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පියවරෙන් පියවර අපේ රට පොහොසත් කරන ජනතාවගේ ජීවිතය ලස්සන කරන ආර්ථිකයක් අපි හදනවා. අද ආණ්ඩුව අරගෙන හෙට මේ වෙනස කරන්න බැහැ. එතකන් ජනතාව බලා ගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ 2048 දී ආර්ථිකය හදනවාලු. 2048 ආර්ථිකය හදනකම් මිනිසුන්ට කන්න නැතිව, බෙහෙත් ගන්නෙ නැතිව, දරුවා ඉගෙන ගත්තේ නැතිවට කමක් නැහැ. අපි අධ්‍යාපනය ගන්න බැරි, ආහාර ගන්න බැරි, සෞඛ්‍ය පහසුකම් කන්න බැරි, පවුල්වලට ආරම්භයේ සිටම රුපියල් 10,000ක අවම මුදලක් ගෙවන්න සැලසුම් කොට තිබෙනවා. ගොඩක් අමාරු නම් දහ දාහට වඩා වැඩි මුදලක් ගෙවන්න සූදානම්. හැමදාමද? හැමදාම ඕනැද? අපේ ගම්වල ජනතාව අතපාලා ජීවත්  වුණු ජනතාවක් නොවෙයි. ගෞරවයක්, වටිනාකමත් තියාගෙන හිටි ජනතාවක්. වී කඳු පිටින් ගොඩගැහුවා. අපේ ගම්වල මතයක් තිබුණා කඩෙන් හාල් කන එක සෙකන්ඩ් ක්ලාස් වැඩක් කියලා. වී තම්බලා හාල් කොටාගෙන කෑවා. වී කඳු ගෙවල්වල ගොඩගහපු පොළොන්නරුවේ ජනතාව. අද හාල් කිලෝ 10ක් ගන්න පෝලිමේ යනවා. ජනතාව දුප්පත්භාවයේ ගිලිටීනයට තල්ලු කළා. අපි මාසිකව 10,000 දීමනාවක් ගෙවනවා, ආර්ථික වැඩපිළිවෙළ හදලා ආර්ථිකයෙන් ජනතාව පොහොසත් වෙන තෙක් මේ මුදල දෙනවා. අධ්‍යාපනයට, ආහාරවලට, සෞඛ්‍යයට මේ ආණ්ඩුව ගසා තිබෙන බද්ද අයින් කර, ඒ සඳහා යන වියදම අඩු කරනවා.

ඒ වගේම අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල 1/3කින් අඩු කරන්න පුළුවන්. අනාගතයේ 85%ක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්. මන්නරාම් ද්‍රොණියේ සුළං බලයෙන් ගිගාවොට් 40කට වැඩිය නිපදවන්න පුළුවන්. 2040 වෙන විට අපේ රටට මුළු ඉල්ලුමම ගිගාවොට් 08යි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් 40,000ක් විතර හදන්න පුළුවන්. අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයොජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ. මේ ගොල්ලොත් ගෙනාවා අදානිව. අදානි විදුලි ඒකකයක් හදන්න ඩොලර් සත 8.22ක් ගන්නවා. හැබැයි ඒ අදානිම ඉන්දියාවේ සුළංවලින් හදනවා ඩොලර් සත 04ට අඩුයි. ඇයි ඒ? ඇමතියාට ගාන දෙන්න ඕනෑ. ඒ ව්‍යාපෘති ගැන නැවත සැලකිල්ලට ලක්කරලා, සුළං බලයෙන්, සූර්ය බලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘති ඉස්සරහට ගෙනත් අඩු මිලට විදුලියත්, අතිරේක විදුලිය එළියට යවන්නත් සැලසුමක් ජාතික ජන බලවේගය හදා තිබෙනවා.

අපේ සෞඛ්‍ය සේවය හොඳ මට්ටමක නැහැ. කොහෙන්ද බෙහෙත් ගන්නේ කියලා ලෙඩා තමයි තීරණය කරන්නේ. බෙහෙත් ගැනීම තීරණය කරන්නේ ප්‍රාථමික වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයා ලෙඩාගේ ස්වභාවය බලලා, එයා තමයි ලෙඩේට ප්‍රතිකාර ගන්න යන්න ඕන තැන තීරණය කරන්නේ. යම් පවුල් සංඛ්‍යාවක් තීරණය කරලා, ඒ පවුල් සංඛ්‍යාවට වෛද්‍යවරයෙක් යොදනවා. ලෙඩා ඉස්සෙල්ලාම යන්න ඕනෙ තමන්ගේ වෛද්‍යවරයා ළඟට. එයා ළඟ ඉතිහාසය තිබෙනවා. පවුලේ පරම්පරාවේ රෝග තිබෙනවාද? සියලුම විස්තර ඔහු සතුව තිබෙනවා. එයා යා යුතු ස්ථානයට ලිපියක් දෙනවා. සෞඛ්‍ය සේවය විධිමත් වෙනවා. අද තිබෙන සෞඛ්‍ය සේවය අවිධිමත්. පෝලිමේ ඉන්න ඕන නැති, දොස්තර මහතා ලෙඩා ගැන දන්නවා, එහෙම තමයි විධිමත් සෞඛ්‍ය සේවයක් වෙන්න ඕනෑ.

ප්‍රවාහනයත් ප්‍රධාන ප්‍රශ්නයක්. ලෝකයේ ගොඩක් රටවල්වල පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය. දිරි දෙන්නේ පොදු ප්‍රවාහනයට. අපි වැඩිපුර පොදු ප්‍රවාහනය දිරි ගන්වනවා. කාර් එකට මාසෙකට 35,000ක් වියදම් වෙනවා. ප්‍රවාහනයට තමන්ගේ වැටුපෙන්, තමන්ගේ ආදායමෙන් ඒතරම් දරන්න ඕනෑද? අද ගාමන්ට්වල වැඩකරන සහෝදරියන් ඉස්සෙල්ලාම ගන්නේ ස්කූටියක්. පඩිය 40,000යි. ස්කූටියට මාසෙකට කැපෙනවා 35,000ක්. අන්තිමට මුළු පඩියම ස්කූටියට. පොදු ප්‍රවාහනය පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් හදනවා.  තමන් කැමති නම්, ආදායම හොඳ නම්, දරා ගන්න පුළුවන් නම්, කාර් එකක් ගන්න. අද දරා ගන්න පුළුවන් හන්දා නෙමෙයි ගන්නේ. යන්න එන්න වෙන විදිහක් නැති නිසා. විශ්වාසවන්ත, පහසුකම් සහිත, හොඳ ප්‍රවාහන සේවයක් නැති නිසා.

අධ්‍යාපනයේ බර අඩුවෙන, ප්‍රවාහනයේ බර අඩුවෙන, සෞඛ්‍ය සේවයේ බර අඩුවෙන ආණ්ඩුවක් අපට ඕනෑ නැද්ද? එහෙම ආණ්ඩුවක් තමයි අපි හදන්නේ. ජාතික ජන බලවේගය මේ සැලසුම් කොට තිබෙන්නේ ඉතාම රට දියුණු කරන, සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළක්. අවුරුදු හතරක් පහක් හොඳට පොර බැදුවොත් හොඳ රටක් බවට මේ රට පත්කර ගන්න  පුළුවන්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනෑ. මේකෙ අවස්ථා දෙකක් තිබෙනවා. එක බලය ගැනීම. දෙක බලය අරගෙන රට හදන එක. දැන් තිබෙන්නේ බලය ගන්න එක. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිරෙ ගහලා පුරවන්න ඕනෑ. මේ ටික දවසේ අපි මහන්සි වෙමු. ශක්තිමත් ජන වරමක්, සැප්තැම්බර් 21 දාට ලබා දෙන්න. අපි ඉස්සෙල්ලා ආණ්ඩුව හදමු. පස්සේ අපි හැමෝම එකතු වෙලා මේ රට හදමු.”

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved