Connect with us

ඡායාරූප සටහන

“ආණ්ඩු ආවා, නායකයෝ ගෙනාවා. අන්තිමේදි ඉස්පිරිතාලවල බෙහෙත්ටික නැතිවුනා”

Published

on

‘රට අනුරට’ මැයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලැබූ ජන රැළිය ඊයේ (29) පොළොන්නරුවේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, ජනතාව දුක් විඳි යුගය අපේ පරම්පරාවෙන් අවසන් කරන බවය.

අනුර දිසානයක මහතා විසින් පවත්වනු ලැබූ සම්පූර්ණ කතාව පහතින්,

“අපේ වැඩිහිටි අය මීට කලින් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. ඒත් අවසානයේ ඉස්පිරිතාලවල බෙහෙත් ටික නැතිවුණා. අධ්‍යාපන පහසුකම් නැති වුණා. ලෝකය ඉදිරියේ බාල්දු වුණු රටක් බවට මේ රට පත්වුණා. අද ණය ගෙවා ගන්න බැරි, ආහාර ටික සපයා ගන්න බැරි ජනතාවක් බවට පත්වී තිබෙනවා. පැරණි ඉතිහාසයෙන් මිදිලා, ලෝකය ඉදිරියේ පිළිගන්නා රටක්, ජනතාවට හොඳ ජීවිතයක්, පොහොසත් රටක් නව ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. සැප්තැම්බර් 21 දා ඔය ආණ්ඩුව හදමු කියලා අපි යෝජනා කරනවා.

අපට තීරණය කරන්න තිබෙන්නේ පැති දෙකයි. රට දුප්පත් කරපු, ඒගොල්ලන් පොහොසත් වුණු පරණ පාර. එහෙම නැතිනම් මේ රට අලුත් දිසාවකට යොමු කරලා, ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්න යෝජනා කරන ජාතික ජන බලවේගයේ පාර. අපි කල්පනා කරන්න ඕනැ මේ දෙකෙන් මොකක්ද අපි තෝරා ගන්නේ කියලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදපුවාම, කවදාවත් අනේ අපොයි කියන්න සිදුවෙන්නේ නැහැ. මේ සැරේ තමයි තීන්දුව හරියට ගත්තේ කියලා සතුටු වෙන්න පුළුවන්. මම හෝ මේ වේදිකාවේ ඉන්න කිසිවෙකු හෝ මේ දේශපාලනය තෝරා ගත්තෙත්, ආණ්ඩු හදන්න ඕන කියන්නෙත් අපට යමක් උපයා ගන්න නොවෙයි. අපට ඕනැ මේ රට පොහොසත් රටක් කරන්න. අපට ඕනෙ මේ රටේ ජීවත් වෙන ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් දෙන්න. ඒ ඇයි? අපේ ගම්වල අම්මලා තාත්තලා මියැදෙනවා රස ආහාර වේලක් මොකක්ද කියලා දන්නේ නැතිව. අපේ දරුවෝ හොඳ පහසුකම් සහිත පාසලක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව ගතවෙනවා. අපේ තරුණ තරුණියන් විශාල ලෙස අවිනිශ්චිතතාවයකට පත්වෙලා තිබෙනවා. සෑම පැත්තෙන්ම වේදනාවට, දුකට පත්වුණු ජනතාවක් ඉන්නේ. මේක අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕනෑ. ඒකට අපි ආණ්ඩුවක් හදමු.  එකින් එක අපි පටන් ගනිමු. රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනෑ. අපිට ආයෝජකයෙක් ආව ගමන් බලන්නේ ඇමතියාට කීයක් දෙනවාද? කියලා. පාරක් හැදුවත් හොරකම් කරනවා, බෙහෙත්වලින් හොරකම් කරනවා. මේ හොරකම ආර්ථිකය වැටීමේ ප්‍රධාන සාධකයක්. හොරකම, වංචාව, දූෂණය නතර කිරීමකින් තොරව  අපේ රට හදන්න බැහැ. ඒ විතරක් නොවෙයි හොරකම් කරපු දේපළ ආපහු ගන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි.

ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේ රටට අවශ්‍යයි. ලෝකයේ දියුණු හැම රටකම නීතිය ඉදිරියේ හැමෝම සමානයි. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියක්, දුප්පත්, බලය නැති අයට තව නීතියක්. මේ නිසා මත්ද්‍රව්‍ය, අපරාධ විශාල ලෙස වැඩිවෙනවා. අපරාධ, මත්ද්‍රව්‍ය ව්‍යාපාර තිබෙන්නේ සංවිධානාත්මකව. මේවා පිටිපස්සේ දේශපාලනය තිබෙනවා. මේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක් යන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. පළමුවෙන්ම අපේ ගම්වල දුප්පත්භාවය නැති කරන්න ඕනෑ. දුප්පත්භාවය කියන්නේ කන්න නැතිකම විතරක් නොවෙයි. දුප්පත්කම නිසාම, නොසැලකීමට ලක්කෙරෙනවා. අධ්‍යාපනය නතර වෙනවා. අපි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා. දුප්පත්භාවයෙන් ගොඩ එන්න තිබෙන එක පාරක්  තමයි  අධ්‍යාපනය. අපි අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කරනවා. අපේ ගුරු පුරප්පාඩු තිබෙනවා. රැකියා නැති උපාධිධාරීන් ඉන්නවා. අපි ආරම්භයේදීම පුරප්පාඩු සඳහා 20,000ක් බඳවා ගන්න සැලසුමක් හදා තිබෙනවා. කිලෝ මීටර් තුනක් ඇතුළත පහසුකම් සහිත පාසලක් හැම දරුවෙකුට ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදනවා. නවය වසර හෝ දහය වසරේදී තෝරා ගැනීමේ විභාගයක් තියනවා. ඒ විභාගය අනුව දරුවයි, දෙමව්පියොයි, ගුරුවරයයි එකතු වෙලා දරුවාගේ දක්ෂතාවය අනුව දරුවාට යන්න තියෙන පාරට යොමු කරනවා. එවැනි පාරවල් ගණනාවකින් දරුවන් ඉස්සරහට ගෙනැල්ලා පාසලෙන්  එළියට එනකොට වෘත්තියවේදියෙක් හැටියට හෝ අධ්‍යාපනයෙන් ඉස්සරහට යන නව අධ්‍යාපන ක්‍රමයක් ජාතික ජන බලවේගය ස්ථාපිත කරනවා. අධ්‍යාපනය තමයි ගමේ දුප්පත්භාවය තුරන් කරන පාර.

අපේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කර ගන්න තිබෙන අනෙක් පාර තමයි කෘෂිකර්මාන්තය නගා සිටුවීම. අපි බීජ පර්යේෂණායතන දියුණු කරලා අඩු වියදම් සහිත හොඳ බීජ ගොවියාට ලබා දෙන්න සැලසුම් කොට තිබෙනවා. ගොවිතැනට අවශ්‍ය වතුර ලබාදීමට සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් පද්ධතිය පිරිසිදු කොට නැවත පැරණි කාලයේ පමණටම ජලය පුරවන්න තරමේ ධාරිතාවෙන් වැඩි කරනවා. මහ කන්නය යල කන්නය පමණක් නොවෙයි අතරමැදි කන්නයක් වගා කරන්න අවශ්‍ය වතුර ප්‍රශ්නය විසඳනවා. යෙදවුම්වලටත් සහනාධාර දීමේ වැඩපිළිවෙළක් අපි සකස් කරනවා. ගොවි ජනතාව ණය බරින් මිරිකිලා ඉන්නේ. අපි ඉතා හොඳින් සමීක්ෂණයක් කරලා, ගෙවා ගන්න බැරි ණය යම් ප්‍රමාණයක් කපා හරින්න අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම අඩු පොලියට ණයක් ලබා ගන්න සංවර්ධන බැංකුවක් අපි ඇති කරනවා.

ඊළඟට, අපි හැමදාම කියනවා වී සහ හාල් වෙළඳපොළේ විකෘතියක් තිබෙනවා. වී මිල තීරණය කරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක්.  ඒගොල්ලන්ට පොළොන්නරුවෙම මිල තීරණය කරන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් පද්ධතියක්ම තිබුණා. ඒ පද්ධතිය කඩා වැටුණා. ලොකු මෝල් හිමියන්ට ණය දීල තමයි පොඩි මෝල් හිමියන්ට ණය දෙන්නේ. ලොකු මොල් හිමියා අඩු මිලට කිරලා, පොඩි මෝල් හිමිය වී කිරන්න එනකොට මිල වැඩි කරනවා. වැඩි කරලා මේ මෝල් පද්ධතියම කඩා වැට්ටුවා. අපි නැවත සුළු හා  මධ්‍ය පරිමාණ මෝල් නඟා සිටුවලා, ඔවුන් මුහුණ දීල තිබෙන මූල්‍ය දුෂ්කරතාවලට වැඩපිළිවෙළක් හදලා තව මෝල් හිමියන් ගණනාවක් නිර්මාණය කරනවා. වී සහ සහල්වල මිලත් සාධාරණ ලෙස තීන්දු කරන්න පුළුවන්. ගොවි ජනතාව ණය උගුලෙන් ගලවා ගන්නවා.

ඉස්සර ලෝකයේ ආර්ථිකය හයිය තිබුණෙ අමු ද්‍රව්‍ය තිබුණ විදිහට. ලෝකයේ ඉස්සරහට වටිනාකම් හැදෙන්නේ දැනුමට. ලෝකයේ හැමතැනම අලුත් ආර්ථික ප්‍රවණතා හැදිලා තිබෙන්නේ නව නිර්මාණවලින්. නව නිපැයුම්වලින්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පර්යේෂණ හා සංවර්ධන අංශය, විද්‍යා හා තාක්ෂණය පැත්ත පුළුල් කිරීම සඳහා සැලසුමක් සකස් කොට තිබෙනවා. අලුත් පර්යේෂණ කරනවා. අලුත් සොයා ගැනීම් කරනවා. ඒවායෙන් නිර්මාණයන් ඇති කරනවා. අපි 2030 වෙනකොට  අයි.ටී. ඉංජිනේරුවන් ලක්ෂ දෙකක් හදනවා. ඒ මානව සම්පත් ගම්වලට ගලාගෙන යනවා. නව ආදායම් මාර්ග ඉපැද්දෙනවා. ගම්වල ජීවිතය උසස් වෙනවා. ඒ වැඩේ කරන්න තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඉල්ලන්නේ. එක පැත්තකින් රට පොහොසත් වෙන්න ඕනෑ. ජනතාවට මුදල් ගලාගෙන එන්න ඕනෑ. අපේ රට දුප්පත් වුණා. පාලකයා පොහොසත් වුණා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පියවරෙන් පියවර අපේ රට පොහොසත් කරන ජනතාවගේ ජීවිතය ලස්සන කරන ආර්ථිකයක් අපි හදනවා. අද ආණ්ඩුව අරගෙන හෙට මේ වෙනස කරන්න බැහැ. එතකන් ජනතාව බලා ගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ 2048 දී ආර්ථිකය හදනවාලු. 2048 ආර්ථිකය හදනකම් මිනිසුන්ට කන්න නැතිව, බෙහෙත් ගන්නෙ නැතිව, දරුවා ඉගෙන ගත්තේ නැතිවට කමක් නැහැ. අපි අධ්‍යාපනය ගන්න බැරි, ආහාර ගන්න බැරි, සෞඛ්‍ය පහසුකම් කන්න බැරි, පවුල්වලට ආරම්භයේ සිටම රුපියල් 10,000ක අවම මුදලක් ගෙවන්න සැලසුම් කොට තිබෙනවා. ගොඩක් අමාරු නම් දහ දාහට වඩා වැඩි මුදලක් ගෙවන්න සූදානම්. හැමදාමද? හැමදාම ඕනැද? අපේ ගම්වල ජනතාව අතපාලා ජීවත්  වුණු ජනතාවක් නොවෙයි. ගෞරවයක්, වටිනාකමත් තියාගෙන හිටි ජනතාවක්. වී කඳු පිටින් ගොඩගැහුවා. අපේ ගම්වල මතයක් තිබුණා කඩෙන් හාල් කන එක සෙකන්ඩ් ක්ලාස් වැඩක් කියලා. වී තම්බලා හාල් කොටාගෙන කෑවා. වී කඳු ගෙවල්වල ගොඩගහපු පොළොන්නරුවේ ජනතාව. අද හාල් කිලෝ 10ක් ගන්න පෝලිමේ යනවා. ජනතාව දුප්පත්භාවයේ ගිලිටීනයට තල්ලු කළා. අපි මාසිකව 10,000 දීමනාවක් ගෙවනවා, ආර්ථික වැඩපිළිවෙළ හදලා ආර්ථිකයෙන් ජනතාව පොහොසත් වෙන තෙක් මේ මුදල දෙනවා. අධ්‍යාපනයට, ආහාරවලට, සෞඛ්‍යයට මේ ආණ්ඩුව ගසා තිබෙන බද්ද අයින් කර, ඒ සඳහා යන වියදම අඩු කරනවා.

ඒ වගේම අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල 1/3කින් අඩු කරන්න පුළුවන්. අනාගතයේ 85%ක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්. මන්නරාම් ද්‍රොණියේ සුළං බලයෙන් ගිගාවොට් 40කට වැඩිය නිපදවන්න පුළුවන්. 2040 වෙන විට අපේ රටට මුළු ඉල්ලුමම ගිගාවොට් 08යි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් 40,000ක් විතර හදන්න පුළුවන්. අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයොජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ. මේ ගොල්ලොත් ගෙනාවා අදානිව. අදානි විදුලි ඒකකයක් හදන්න ඩොලර් සත 8.22ක් ගන්නවා. හැබැයි ඒ අදානිම ඉන්දියාවේ සුළංවලින් හදනවා ඩොලර් සත 04ට අඩුයි. ඇයි ඒ? ඇමතියාට ගාන දෙන්න ඕනෑ. ඒ ව්‍යාපෘති ගැන නැවත සැලකිල්ලට ලක්කරලා, සුළං බලයෙන්, සූර්ය බලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘති ඉස්සරහට ගෙනත් අඩු මිලට විදුලියත්, අතිරේක විදුලිය එළියට යවන්නත් සැලසුමක් ජාතික ජන බලවේගය හදා තිබෙනවා.

අපේ සෞඛ්‍ය සේවය හොඳ මට්ටමක නැහැ. කොහෙන්ද බෙහෙත් ගන්නේ කියලා ලෙඩා තමයි තීරණය කරන්නේ. බෙහෙත් ගැනීම තීරණය කරන්නේ ප්‍රාථමික වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයා ලෙඩාගේ ස්වභාවය බලලා, එයා තමයි ලෙඩේට ප්‍රතිකාර ගන්න යන්න ඕන තැන තීරණය කරන්නේ. යම් පවුල් සංඛ්‍යාවක් තීරණය කරලා, ඒ පවුල් සංඛ්‍යාවට වෛද්‍යවරයෙක් යොදනවා. ලෙඩා ඉස්සෙල්ලාම යන්න ඕනෙ තමන්ගේ වෛද්‍යවරයා ළඟට. එයා ළඟ ඉතිහාසය තිබෙනවා. පවුලේ පරම්පරාවේ රෝග තිබෙනවාද? සියලුම විස්තර ඔහු සතුව තිබෙනවා. එයා යා යුතු ස්ථානයට ලිපියක් දෙනවා. සෞඛ්‍ය සේවය විධිමත් වෙනවා. අද තිබෙන සෞඛ්‍ය සේවය අවිධිමත්. පෝලිමේ ඉන්න ඕන නැති, දොස්තර මහතා ලෙඩා ගැන දන්නවා, එහෙම තමයි විධිමත් සෞඛ්‍ය සේවයක් වෙන්න ඕනෑ.

ප්‍රවාහනයත් ප්‍රධාන ප්‍රශ්නයක්. ලෝකයේ ගොඩක් රටවල්වල පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය. දිරි දෙන්නේ පොදු ප්‍රවාහනයට. අපි වැඩිපුර පොදු ප්‍රවාහනය දිරි ගන්වනවා. කාර් එකට මාසෙකට 35,000ක් වියදම් වෙනවා. ප්‍රවාහනයට තමන්ගේ වැටුපෙන්, තමන්ගේ ආදායමෙන් ඒතරම් දරන්න ඕනෑද? අද ගාමන්ට්වල වැඩකරන සහෝදරියන් ඉස්සෙල්ලාම ගන්නේ ස්කූටියක්. පඩිය 40,000යි. ස්කූටියට මාසෙකට කැපෙනවා 35,000ක්. අන්තිමට මුළු පඩියම ස්කූටියට. පොදු ප්‍රවාහනය පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් හදනවා.  තමන් කැමති නම්, ආදායම හොඳ නම්, දරා ගන්න පුළුවන් නම්, කාර් එකක් ගන්න. අද දරා ගන්න පුළුවන් හන්දා නෙමෙයි ගන්නේ. යන්න එන්න වෙන විදිහක් නැති නිසා. විශ්වාසවන්ත, පහසුකම් සහිත, හොඳ ප්‍රවාහන සේවයක් නැති නිසා.

අධ්‍යාපනයේ බර අඩුවෙන, ප්‍රවාහනයේ බර අඩුවෙන, සෞඛ්‍ය සේවයේ බර අඩුවෙන ආණ්ඩුවක් අපට ඕනෑ නැද්ද? එහෙම ආණ්ඩුවක් තමයි අපි හදන්නේ. ජාතික ජන බලවේගය මේ සැලසුම් කොට තිබෙන්නේ ඉතාම රට දියුණු කරන, සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළක්. අවුරුදු හතරක් පහක් හොඳට පොර බැදුවොත් හොඳ රටක් බවට මේ රට පත්කර ගන්න  පුළුවන්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනෑ. මේකෙ අවස්ථා දෙකක් තිබෙනවා. එක බලය ගැනීම. දෙක බලය අරගෙන රට හදන එක. දැන් තිබෙන්නේ බලය ගන්න එක. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිරෙ ගහලා පුරවන්න ඕනෑ. මේ ටික දවසේ අපි මහන්සි වෙමු. ශක්තිමත් ජන වරමක්, සැප්තැම්බර් 21 දාට ලබා දෙන්න. අපි ඉස්සෙල්ලා ආණ්ඩුව හදමු. පස්සේ අපි හැමෝම එකතු වෙලා මේ රට හදමු.”

ඡායාරූප සටහන

යුද්ධය යනු ඛේදවාචකයක්, යළිත් එවන් ඛේදවාචකයක්  රට තුළ ඇතිවීමට ඉඩ නොදෙමු.

Published

on

By

යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (19) පැවැති ජාතික රණවිරු සැමරුමට සහභාගී වෙනමින් ජනාධිපතිවරයා පැවසුවේ රට පූර්ණ ජයග්‍රාහකයින් නොමැති බවත් පූර්ණ ජයග්‍රාහකයින් බවට පත්විය හැකි වන්නේ මෙරට නීතිය හා සාමය පූර්ණ වශයෙන් ස්ථාපිත කිරීමෙන් පමණක් බවය.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැත්වූ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ,

“දෙමව්පියනි, ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි, ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ   යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි  ඉහළම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. 

මෙම ස්මාරකය ඉදිරිපිට සිට ඊට නිසි ගෞරවය පුද කිරීම යනු, යළි රට තුළ ගැටුමක් ඇතිවීමට ඉඩ නොතබා,  වෛරය සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන්  යුතු  සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් බවට වන පණිවිඩය ශපථ කිරීමයි”  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස පැවති 16 වන රණවිරු දින සැමරුම් උත්සවය අමතමිනි.

දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් කරමින් ලැබූ  ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

මෙහිදී ජනාධිපතිතුමා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

දශක ගණනාවක් අපේ රට යුද්ධකට මුහුණ දුන්නා. රටට, ජනතාවට විශාල විනාශයක් අත්කර දුන්  එම යුද්ධය  මීට වසර ගණනාවකට පෙර අවසන් කිරීමට අපිට හැකියාව ලැබුණා. මෙම යුද්ධය අවසන් කිරීමේදී ජීවිත පරිත්‍යාග කළ අපේ හමුදා නිලධාරින් සහ සොල්දාදුවන් අපි අද සමරනවා. ඒ අනුව අද ඉතා වැදගත් හා ඓතිහාසික දිනයක් බව කිව යුතුයි.

මෙම සැමරුම එම යුද්ධය අවසන් කිරීමේ ඓතිහාසික සැමරුමක් වගේම යළි අපේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්,මැලේ සියලු ජනතාව එක රටක් තුළ සමගියෙන්, සහෝදරත්වයෙන් මේ රට ගොඩනැඟීම සඳහා පොරබදන මොහොතක්ද වෙනවා.
මෙම වසර ගණනාවක යුද්ධය අවසන් කිරීම සඳහා අපේ සොල්දාදුවන් විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. මෙම පුවරුව පිරෙන්න ඔවුන්ගේ නම් තිබෙනවා. මේ පුවරුවලින් පෙන්නුම් කරන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන් සිදු කරන ලද කැපවීමයි. ඒ වගේම සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් සදාකල් ආබාධිත තත්ත්වයට පත් වුණා. අදත් අප අතර ජීවත් විය යුතු විශාල පිරිසක්  යුද්ධය අවසන් කිරීම සඳහා සිය  ජීවිතය පරිත්‍යාග කළා. තවත් පිරිසක් තමන්ගේ ඇස්, අත්, පා ශරීර අවයව සියල්ල පරිත්‍යාග කළා.
එපමණක් නොවෙයි, ඔවුන්ගේ ඥාතීන්, මිතුරන්, දෙමාපියන්, බිරින්දෑවරු, ස්වාමියා ඇතුළු සියලුදෙනා මේ යුද්ධය අවසන් කිරීම සඳහා කරන ලද මහා ව්‍යායාමයේදී විශාල කැපකිරීමක් සිදු කළා. මා හිතනවා රටක් ජාතියක් ලෙස අපි සැමදෙනා සැමදා ඔවුන් අනුස්මරණය කළ යුතුයි. මේ රට හැමදාමත් ඔවුන්ට ණයගැතියි. ඒ පිළිබඳව ඉතාමත් භක්තිමත් බැඳීමක් ඔවුන් සහ අප අතර තිබෙනවා.

නමුත් “යුද්ධය” යන  වචනයට තිබෙන්නේ “යුද්ධය” යන්නම පමණයි. යුද්ධය විශාල ඛේදවාචකයක්. යුද්ධය විශාල විනාශයක්. මටත් වඩා වැඩියෙන් එය යුද බිමේ සටන් කළ ඔබ දන්නවා. යුද්ධය මොනතරම් ඛේදවාචකයක්ද, විනාශකාරීද කියා.

නමුත්, මේ සටන් කරන ලද කිසිවෙක් යුද්ධ කළේ යුද්ධය අපේක්ෂාවෙන් නොවේ. ඒ හැමදෙනාම යුද්ධ කළේ සාමය අපේක්ෂාවෙන්. යුද්ධය මොනතරම් ඛේදවාචකයක්ද. අද උතුර, දකුණ කියා භේදයකින් තොරව මේ යුද්ධයේ විනාශයේ සහ ඛේදවාචකයේ නටඹුන් මතින් ගොඩනැඟී තිබෙන අයුරු අපි දැක තිබෙනවා.

පියවරු අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමාපියන්, ස්වාමියන් අහිමි වූ බිරින්දෑවරුන් මේ මාතෘ භූමියේ තවමත් සුසුම් හෙළමින් ජීවත් වෙනවා.  මෙම නාම පුවරුවල ලියා තිබෙන නම් අතර තමන්ගේ පුතාගේ නම තිබෙනවාද, තමන්ගේ ස්වාමියාගේ නම තිබෙනවාද, තමන්ගේ දරුවාගේ නම තිබෙනවාද කියා ඇගිලි තබමින් නම් සොයන අය සිටින බව මම දන්නවා. අපේ අම්මලාගේ, බිරින්දෑවරුන්ගේ, දරුවන්ගේ වේදනාවේ ප්‍රමාණය අපි දන්නවා. ඔවුන් අභිමානයක් සහිතව එහෙත් වේදනාවෙන් තමගේ ඥාතින් සොයනවා.

යුද්ධය යනු ඛේදවාචකයක්.  එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත්වන අපගේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් රට තුළ ඇතිවීම වැළැක්වීමයි. යුද්ධ කරන රටක් වෙනුවට ගැටුම් ඇති නොවන, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි.

දකුණේ පමණක් නොවෙයි, උතුරේ ජනතාවත් ඡායාරූපයක් මහ මග තබාගෙන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමාපියෙකුටම තමන්ගේ දරුවා දරුවෙක්. “උනහපුළුවාට තමන්ගේ දරුවා මැණිකක්”. එසේ නම් එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත් වන අපේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් අපේ රට තුළ ඇතිවීම වැළැක්වීමයි.

අපේ පරම්පාරව යුද්ධ කර තිබෙනවා. අපේ පරම්පරාව අතර වෛරය, ක්‍රෝධය, සැකය  පැතිරී තිබෙනවා. නමුත් අපි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැදීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි. අපේ සියවසේ සිදුවීම්, සිදුවීම් බවට පත්වීමට ඉඩදී අත්හැරිය යුතු නැහැ, යහපත් මිනිසුන් ලෙස අපි සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගෙන ඒවා අත්දැකීම් බවට පත් කරගත යුතුයි.

එසේනම් මහා ඛේදවාචකයක් සහිත ඉතිහාසය විසින් අපිට කියන්නේ කුමක්ද, යළි එවැනි තත්ත්වයක් අපේ මාතෘභූමිය තුළ ඇති වීමට ඉඩ නොතැබිය යුතුයි කියන හඩයි. ඒ අත්දැකිම්වලින් අපිට පෙන්වන්නේ අපෙන් පසු පරම්පරාව යළි යුද ගැටුමකට යා යුතුයි කියා නොවෙයි. ඒ අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ යුද්ධයෙන් තොර රාජ්‍යයක්.

මෙම යුද ස්මාරකය ඉදිරිපිට අප සිටගෙන ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා  යනු යළි ගැටුමක් ඇති වීමට ඉඩ නොතබා වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් ආදරය සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් කියන පණිවිඩය මෙය ඉදිරියේ තබා ශපථ කිරීමයි.
විශේෂයෙන් තමන්ගේ දෙපය බිම තබා ඇවිදිය නොහැකි සොල්දාදුවන් අද මා ඉදිරිපිට සිටිනවා. මා අද උදෑසන ඔවුන් බලන්න ගියා. ඉතා දිගු කාලයක් පුරා ඇතැම් අය 1996 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇදක පමණක් තම ජිවිතය ගත කරනවා. එක් අයෙක් 1988 සිට එලෙස සිටින බව පැවසුවා. ඔවුන් තමන්ගේ සිතිවිලි වචන බවට පෙරළා ගත නොහැකිව කදුළු පිරි දෙනෙතින් ඒ දුක් පෙන්නුම් කරනවා. මෙම ඛේදවාචකය අපි අවසන් කළ යුතුයි. අනාගත පරපුරට අපි භාර දිය යුතු වන්නේ සමගි සම්පන්න රාජ්‍යයක් නොවේද?

එහෙත් අද රට තුළ සිදුව තිබෙන්නේ විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම සහ බලය තර කර ගැනීම වෙනුවෙන් මෙම යුද  ගැටුම්, ජාතිවාදය සහ අන්තවාදය උපයෝගි කර ගැනීමයි. මේ කිසිවක් ස්වභාවිකව ඇති වූවක් නොවේ. විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම සහ බලය ආරක්ෂා කර ගැනීම සඳහාත්, තමන් විසින් කරන ලද අපරාධ වසන් කර ගැනීම සඳහාත් උපයෝගි කරගෙන තිබෙනවා. එසේ නොවන්න ෆීල්ඩ් මාර්ෂල් වසර දෙක හමාරකට වැඩි කාලයක් සිරගතව සිටීමට හේතුවක් නැහැ. එම අවදියේ ඔහු සහ මම ඉතා සමීපව ඇසුරු කළා. එහි තිබුණේ බලය මිස නීතිය හෝ යුක්තිය නොවෙයි. ඒ අයුරින් ඉතිහාසය මේ ගැටුම් සහ යුද්ධ බලය ලබා ගැනීම සහ බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. එහි වින්දිතයන් බවට උතුරෙත්, දකුණෙත් අපේ දරුවෝ පත් වී තිබෙනවා.

මෙවැනි යුද්දයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපයූ, ඒ වෙනුවෙන් වැඩ නොකළ අපේ ගම්වල සාමාන්‍ය මව්පියවරුන්ගේ දරුවන් මිය ගියා. ඒ නිසා යුද්ධය යනු ඛේදවාචකයක් කියා අප ඉතා දැඩිව තේරුම් ගත යුතුව තිබෙනවා. යුද්ධය යනු විනාශයක්. නමුත් ඇතැම් අය නැවත නැවත පරාජිත සහ ප්‍රතික්ෂේප වූ කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආශ්වාදයක් කියා. යුද්ධය යනු මිහිරි අත්දැකීමක් කියා ඔවුන් සිතනවා. නමුත් පොදු සමාජයට එසේ නොවෙයි. එසේ නම් මේ බොල් හඩට අපි තවදුරටත් බිය විය යුතුද. අපි සැමදෙනා එකවිට නැගිට සාමය අවශ්‍ය බවට හඩ නැගිය යුතුයි. අපේ හදවත, අපේ ප්‍රකාශයන් සහ අපේ ප්‍රවේශය යන සියල්ල අපි සාමය වෙනුවෙන් පෙළගැස්විය යුතුයි.
සාමය පාවා දීමේ ලකුණක් බවට පත් වෙමින් තිබෙනවා. සංහිඳයාව පාවා දීමක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. මිනිසුන් සමාජයක් ලෙස වර්ධනය වන විට තව තවත් උස් හඬින් අප ගෙන ආ යුතු වන්නේ මානවවාදය. මනුෂ්‍යත්වය. අපේ රට තුළ පමණක් නොවේ. ලෝකය පුරා ඇති වී තිබෙන යුද ගැටුම්වලින් ලෝකයට අත්පත් කර තිබෙන්නේ කුමක්ද? ජයග්‍රහණද? නෑ. විනාශයයි. ඒ නිසා මම හිතනවා අපි තිර අදිටනකින් වැඩ කළ යුතුයි සාමය වෙනුවෙන්.

යුද්ධයේ ආස්වාදය යුද්ධය තමන්ගේ බලය ලබා ගැනීමට ආරක්ෂා කර ගැනීම සඳහා මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනා විඳින ආස්වාදය සතුට අපි අහිමි කළ යුතුයි.

මේ වෙලාවේ බයිනේත්තුව අතේ තබා ගෙන යුනිෆෝම් එකක් ඇඳ ගෙන නීතියට ගරු කරමින් ඉන්න හැම සෙබළාගේම හැම නිලධාරියාගේම අපේක්ෂාව තමන්ගේ අතේ තිබෙන ගිනි අවිය කුමන මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවායි කියන ප්‍රාර්ථනයයි. මානවවාදයේ ප්‍රාර්ථනය එයයි. පොදු සමාජයේ ප්‍රාර්ථනය විය යුත්තේ එයයි. එහෙත් ඉතාමත් කුඩා කණ්ඩායම් ඔවුන් නිරන්තරයෙන් කල්පනා කරමින් තිබෙනවා අත තිබෙන ගිනි අවිය කුමන මොහොතක හරි පත්තු කළ යුතුයි කියලා. නෑ. අපේ ස්ථාවරය වන්නේ ඔබ සතුව තිබෙන ගිනි අවිය තවත් මිනිසෙකුට එරෙහිව ඔහුගේ පපුවට තබා වෙඩි තැබීම සඳහා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය විය යුතුයි. අපි බය නැතුව මෙය කිව යුතුයි.

ගෝරනාඩුවට කිසි කෙනෙක් යටත් විය යුතු නැහැ. අපි යටත් වනනේ සත්‍යට. අපි යටත් විය යුතුයි මානවවාදයට. මිනිසත්කමට. නමුත් අපි ගෝරනාඩුවට යටත් විය යුතු නැහැ. ඒ නිසා මා හිතනවා ඉතිහාසය අත්දැකීම් බවට පත් කර ගැනීමට නම් ඒ අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත් ජනතාවක් බවට පරිවර්තනය විය යුතුයි. අපි ඇති තරම් ලේ හලා තිබෙනවා. අපි මේ මහ පොලොව තෙත් වන තුරු ලේ හැළු ජාතියක්. ගංගා රුධිරයෙන් ගලා යන තරමට ලේ හැලු ජාතියක්. දෙමවිපියන්ගේ, ඥාතීන්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුළු හැළු ජාතියක්. අපි යුද්ධයේ බිහිසුනුතම වේදනාවන්ට බිහිසුණුතම විනාශයන්ගේ අත්දැකීම් ලැබූ මිනිස්සු. ඒවා අත්දැකීම් නම් යළි එවැනි තත්ත්වයක් අපේ රටේ ඇති වීම වැළැක්විය යුතුයි.

මා මීට පෙරත් ප්‍රකාශ කළා  කිසිවෙක් මේ යුද්ධයට එළඹෙන්නේ යුද්ධය වෙනුවෙන් නෙවෙයි.  හැම කෙනාම අවි අතට ගෙන ඉදිරියට ගියේ සාමය වෙනුවෙන්. යුද්ධය වෙනුවෙන් යුද්ධ කරන්නේ නැහැ. යුද්ධ කරන්නේ සාමය වෙනුවෙන්. එසේ නම් අපට තවත් දිගු ගමනක් යා යුතුව තිබෙනවා. යුද්ධය අවසන් වීම, එහි ඊළඟ පියවර සාමය ස්ථාපිත කිරීමයි. එසේ නොමැති නම් අපි අර්ධ ජයග්‍රාහකයෝ වෙනවා. පූර්ණ ජයග්‍රාහකයෝ නෙවෙයි. අපිට පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් විය හැකි වන්නේ මේ රටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ නිසා ගෝරණාඩුවලට බිය නොවී අපි සාමය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සූදානම්.

අවි අත දරා සිටින සෑම සොල්දුදුවෙකුගෙන්ම, සෑම නිලධාරියෙකුගෙන්ම මා ඉල්ලා සිටින්නේ ඔබ හැම විටම අපේ රටේ සාමය වෙනුවෙන් වැඩ කළ පිරිසක්, ඔබ අනාගතයේද අපේ රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් වන ලෙසයි. අපේ දෙමව්පියන්ට මම කියන්නේ ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරු ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ   යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද?ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි හොඳම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි.

අපේ දරුවන්ට යළි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවෙන සමාජයක් අප නිර්මාණය කළ යුතුයි. එය ඉතාමත් දුෂ්කර ව්‍යායාමයක්. එහෙත් අප විසින් සාර්ථකව කළ යුතු ව්‍යායාමයක්. මා මේ අවස්ථාවේ සුදුසු නොමැති වුවත් කියන්න කැමතියි උතුරේත් දකුණේත් බලය වෙනුවෙන් මේ ජාතිවාදය වෙනුවෙන් නැවත කැරැලි ඇති කරන්න පටන් ගෙන තිබෙනවා. වෙන කිසිවක් නොව බලය වෙනුවෙන්. සැබෑ මාතෘ භූමියේ නිදහස නම්, අපට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අත්පත් කර ගැනීමට අප සමත්ව නැහැ.

මාතෘ භූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද? මේ වර්ෂාවත් සමඟ නායයෑම් අවදානම් සහිත කලාප රට තුළ තිබෙනවා. එමඟින් අප නිදහස් ද? අදත් ලෝකයේ කුමන ස්ථානයක හෝ කුඩා හෝ ගැටුමක් ඇති වුණොත් අපේ රටේ ආර්ථිකයට, ජනජීවිතයට බලපෑමක් ඇති කරයි කියන බිය තිබෙනවා. අප නිදහස්ද? අද ආර්ථික වශයෙන් ස්වෛරීභාවය අහිමි කරගත් ජාතියක්. අපිට අපේම වූ ආර්ථික තීරණ ගැනීම සදහා ශක්තිමත් ආර්ථිකයක් නොමැති ජාතියක්. එනිසා අපේ මාතෘ භූමිය  ලෝකය ඉදිරිපිට අභිමානවත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට නම් මේ ආර්ථික පරිවර්තනය අත්පත් කර ගත යුතුයි.
නීතියේ විධානයේ ආධිපත්‍යය කුමන දුෂ්කරතා මත හෝ මේ රාජ්‍ය තුළ ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අප රටේ අපරාධ, කුඩු වසංගතවලින් තොර රාජ්‍යයක් ලෙස නිර්මාණය කළ යුතුයි. ගැටුම්, අවිශ්වාසය, වෛරය නොමැති රාජ්‍යයක් ලෙස නිර්මාණය කළ යුතුයි. එවිට මව්බිමේ පූර්ණ නිදහසත්, ශක්තිමත් ස්වෛරීභාවයක් අපට නිර්මාණය වෙනවා. එහෙම නොමැතිව ස්වෛරීභාවය හුදු කඩදාසියක තිබෙන වාක්‍යයක් බවට පත් නොවිය යුතුයි. එය මේ මාතෘ භූමියේ යථාර්ථය බවට පත් කළ යුතුයි.

ඔබට, අපට මේ මාතෘ භූමිය පිළිබඳව බිඳිය නොහැකි ප්‍රේමයක් තිබෙනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාවට අනුලංගනීය ලෙස ප්‍රේම කරනවා. මේ මාතෘ භූමිය ලෝකයේ උසස්ම මාතෘ භූමියක් බවට පරිවර්තනය කිරීමේ සහ මේ රටේ ජනතාව ලෝකයේ උසස් ජනජීවිතයක් ගත කිරීමට ගොඩනැංවීමේ වුවමනාව අපට තිබෙනවා. ඒ සඳහා අත්‍යවශ්‍යම සාධකය සාමය සහ සංහිඳියාවයි. එනිසා මේ අවස්ථාවේදී අප සාමය හා සංහිඳියාව වෙනුවෙන් ගත හැකි සෑම තීරණයක් නිර්භීතව ගත යුතු යැයි මා විශ්වාස කරනවා.

අප ඉදිරියේ තිබෙන මේ ස්මාරකයෙහි ස්ථාවරත්වය, ආරක්ෂාව, අපේ දිවිදුන් සෙබළුන්ගේ ආධ්‍යාත්මය, අභිමානය ඇතුළු සියල්ල මේ කුළුණ තුළ කැටි වී තිබෙනවා. අප ඔවුන්ගේ ආධ්‍යාත්මය, වීර්යය, නිර්භීතභාවය, පරිත්‍යාගය අපි අපේ ජීවිතවලට කැටි කරගත යුතුයි. එසේ කළ යුතු වන්නේ කුමක් වෙනුවෙන් ද? ඒ වඩාත් සුබවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්. අවසාන වශයෙන් යුද්ධය අවසන් කිරීම සදහා ජීවිත පරිත්‍යාග කළ සෙබළුන්ට, සදාකාලික ආබාධිතභාවයට පත් වූවන් හැමදාමත් අප අපේ හදවත් තුළ අනුස්මරණය ලෙස සමරනවා. ඔබ විසින් පෙන්වා දී තිබෙන කැප කිරීම, පරිත්‍යාගය, අප්‍රතිහත ධෛර්යය මේ රට ගොඩනැඟීම සඳහා අපට විශ්වාසයක් බවට පත් වේවි. ඒ වෙනුවෙන් අපි සෑම දෙනාම එක්ව නව සටනක් දියත් කරමු.

Continue Reading

ඡායාරූප සටහන

ජනපති මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය.

සෙබළුන් වෙත ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය.

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය. අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිහිඳු සෙත් මැදුර – සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත්තේය. සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Continue Reading

ඡායාරූප සටහන

තානාපතිවරු හත් දෙනෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

Published

on

By

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

ආජන්ටිනා ජනරජය (Argentine Republic) සිම්බාබ්වේ ජනරජය (Republic of Zimbabwe), ඊශ්‍රායලය (Israel), පිලිපීන ජනරජය (Republic of the Philippines),ටජිකිස්තාන ජනරජය (Republic of Tajikistan), කාම්බෝජ රාජධානිය (Kingdom of Cambodia) සහ ඩෙන්මාර්ක් රාජධානිය (Kingdom of Denmark) සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටී.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

01. Mr. Mariano Agustin Caucino
මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා – නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති
02. Ms. Stella Nkomo
ස්ටෙලා න්කොමෝ මහත්මිය – නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති
03. Mr. Reuven Javier Azar
රූවෙන් හවීයර් අසාර් මහතා- නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති
04. Ms. Nina P. Cainglet
නිනා පී. කයින්ග්ලට් මහත්මිය – ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති
05. Mr. Lukmon Bobokalonzoda
ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා- නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති
06. Ms. Rath Many
රත් මැනි මහත්මිය – නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති
07. Mr. Rasmus Kristensen
රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතා – නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved